Upul Nishantha

Upul Nishantha Former Mayor of the Matara Municipal Council, Sri Lanka.

අනේ මන්දා නාලිනී ! තවමත් අපි ආදරෙයි!-----------'බුද්ධානු භාවේන සිත් නෙත් පහන්වී...' හිමිදිරි පාන්දරම අපේ සිත් සංයමයකට රැ...
23/08/2026

අනේ මන්දා නාලිනී !
තවමත් අපි ආදරෙයි!
-----------

'බුද්ධානු භාවේන සිත් නෙත් පහන්වී...' හිමිදිරි පාන්දරම අපේ සිත් සංයමයකට රැගෙන එන ගමන්ම ප්‍රබෝධයට පත්කරමින් නිවසේ රේඩියෝව හඬනගයි. 'අරැණාලෝකය අතරේ හෙට නවලෝකය ඉදිවේ...' තවත් හිමිදිරියක විශ්වාසය, බලාපොරොත්තුව මෙන්ම අධිෂ්ඨානය අපේ සිත් පුරවාලමින් රේඩියෝවෙන් ගලාඑයි. අතේ දුරින් පිහිටි පාසලට වුවත් උදේ පාන්දරම කුකුළාත් මල්ලේ දමාගෙන යාමට පුරැදුව සිටි මට මෙවැනි ගීත සදා සිහිවටනයන්ය.

තවත් දවසක 'සාරිපොඩිත්තක් ඇදගෙන, මාල පොඩිත්තක් බැදගෙන...' සුපුරැදු කටහඩම දහවලේ දී මුනගැසිනි. එම තියුණු, විනිවිදයන ප්‍රබෝධමත් වූ කටහඩ මගේ ළමා ජීවිතය පෝෂනය කරන්නට දායක විය. ඇය නන්දා මාලිනී නම් වන බව මා දැන ගත්තේ සින්දු අසා කලකට පසුව බව මට මතකය.

මාතර හක්මන පාරේ පිහිටි 'සුගීශ්වර ශාලාවේ" පැවැති කොමියුනිස්ට පක්ෂයේ උත්සවයක ගීත ගැයීමට නන්දා මාලිනිය පැමිණෙන බව දැනගන්නට ලැබී අම්මාත් සමග මම ද එහි ගියෙමි. නමුත් ඇය දැක ගැනීමට නොහැකිවිය.

අපේ නිවසේ බැටරි කැබලි කිහිපයකින් වැඩකරන රේඩියෝවක් තිබූමුත් කැසට් රේඩියෝවක් තිබුනේ නැත. පාසලේ හත-අට පමණ පන්තිවලදී ලොකු මාමා කුඩා කැසට් රේඩියෝවක් රැගෙන ආවේය. ඒ සමගම ඔහු නන්දා මාලිනියගේ 'පහන් කන්ද' සිංග්ලංකා කැසට් පටය ද ගෙනැවිත් තිබුනි.

මුල් පාසැල් අවධියේදී ආසාකල කටහඩ දැන් නිතර ඇසේ. 'සත්‍යයේ ගීතය' අසන්නට ප්‍රවේශපත්‍ර ගන්නට මුදල් නැතිමුත් තැනින් තැනින් ඉල්ලා ගත් එම කැසටපට අපේ පිපාසාව
පුරවාලන්නට සමත්විය. 'පෙරහැර එනවා කසපුපුරනවා' යි ඇය අප අලුතෙන් හිතන්නට පොළඹවාලූ අතරම 'කලාවැවෙන්ගත් දියදෝතක් සේ" කියමින් අප තවත් තැනක ස්ථානගත කලේය.

පාසලේ උසස් පෙළ අධ්‍යාපනය හදාරන අවධියේදීම දේශපාලන ක්‍රියාකාරකම්වලට මම එක්වීමි. මිනිසුන් සමානව සැලකිය යුත්තේය, එකෙකු විසින් තවකෙකු පාගා නොදැමිය යුත්තේය යන සංකල්ප අම්මාගෙනුත්, ඒවා
ප්‍රායෝගිකය ක්‍රියාත්මක කරන්නට කටයුතුකල මගේ ආත්තම්මාගෙනුත් ලද ආභාෂය මා තෝරාගත් දේශපාලනයතුල සරැවට වැඩුනි. ඒ නිසාම ජාතිවාදය ප්‍රතික්ෂේප කලේය. පාසැල් ජීවිතය අවසන් කරන්නට පෙරම රටතුල ඉමහත් ආන්දෝලනයක් ඇතිකල පළාත් සභා වෙනුවෙන් පෙනී සිටියේ දෙමල ජනතාවට සාධාරන ප්‍රශ්න ඇති බවත් ඒවාට සාධාරණ විසදුම් දිය යුතු බවටත් ප්‍රතිපත්තිමය වශයෙන් මා තුලද ඇතිව තිබූ විශ්වාසය නිසාය.

එම තීරණය අපේ ජීවිත ඉමහත් කම්පනයට පත්කලේය. මරණය ජීවමාන දසුනක් බවට පත්විය. රජයෙන් මෙන්ම ජවිපෙන්ද දෙපාර්ශවයක ප්‍රහාරයට අප ලක්විය. දෙපාර්ශවයේම අවිගත් ප්‍රහාරයට නිරායුධව මුහුණ දීම අතිශයින්ම අසීරැය.

මේ අතර නන්දා මාලිනී ගේ අලුත්ම ප්‍රසංගය වේගයෙන් පැතිරෙමින් තිබුනි. එය 'පවන' නම් විය. එය කදිමට කාලයට ගැලපෙන සේ ඉල්ලුම හා සැපයුම තුලනයකර තිබුනි. එය බැලූ බැල්මටම දේශපාලනික ගීත ප්‍රසංගයක හැඩය ඕනෑවටත් වඩා ප්‍රදර්ශනයකල බව මගේ විශ්වාසයයි. එය පවතින රාජ්‍ය ත්‍රස්තවාදයට එලිපිටම විරැද්ධත්වය ප්‍රකාශකලේය. එය දේශපාලනිකව ඉතාම යහපත්ය. එහෙත් ඇය ත්‍රස්තවාදයට එරෙහිවීමට අපොහොසත්විය.

නමුත් මා වඩාත් කම්පනයට පත්කලේ ඒ පිලිබදව නොවේ. පවනෙහි එන 'විරිඳු සුරල්' කියු නන්දා මගේ සිත රිදවීය. ඇය කෙරෙහි තිබූ මාගේ ගෞරවය හා ආදරය අභියෝගයට ලක්කලේය. වේගයෙන් රටතුල පැතිරෙමින් තිබූ ජාතිවාදයට විශේෂයෙන්ම එම ගීතය තුලින් ඈ නියමින් හා අනියමින් රැකුල්දුන්නෙය යන්න මගේ අදහසයි. කිසිදිනෙක මම 'පවන' නොබැලුවෙමි. කැසට්පටයවත් මිළදීගෙන ඇසීමට ද කටයුතු නොකලෙමි.

ඒහෙත් ජීවිතයේ 'දැනුන' කටහඬක් විසිකරන්නේ කෙසේද? සාම්ප්‍රදායික අපේ සමාජයතුල එඩිතර වන්නට ධෛර්යය තිබූ ගැහැනියක් අත්හැර දමන්නේ කෙසේද? එසේම, 'පවන' ගෙනෙන නන්දාම 'සිහල, ද්‍රවිඩ, මුස්ලිම් කල්‍යාන
මිතුරනේ" යැයි ද කීවාය. පසුකලෙක අත්හැර දැමුවද ඇය එයටත් පෙර 'මේ සිංහල අපගෙ රටයි' යැයි ද කීවාය. ඉතින් පසුපස පාදයේ මම ඈ දෙස බලා සිටියෙමි. රසවින්දෙමි.

නමුත් මෙම තත්වය සුන්දර, අභිමානවත්වූ හා මිනිසුන් පුබුදවාලිය හැකි බලගතු හඩපෞර්ෂයක් තවත් එක් පෞර්ෂයක සිරකාරියකවූයේ දැයිද මා තුලම විවාදයක් නිර්මාණය කලේය. මක් නිසාද යත් කලින් කී ගීත තුන විසින් නන්දා වෙනස්වන බව මගේ සිත කී නිසාය. ඉතින් 'අනේ මන්දා නාලිනී!' යන හිසින් මම එම යුගය පසුකලෙමි.

මේ සියල්ල බලන විට ඇය කියූ ගීතවලට වඩා ඇය ලියූ අවසන් කැමැත්ත නමැති ලියවිල්ල අතිශය ස්වතන්ත්‍රවූවක් යැයි මට සිතේ. එය නන්දා පිලිබදව අලුතෙන් කියවීමට ලැබුන ඇයගේම අතින් ලියවුන ඇයගේම නිර්මාණයය යැයි මම සිතමි. එයින් ඇය සිය ස්වාධීනත්වය ප්‍රකාශකලාය. කිවීමට බොහෝදේ ඉතිරිකලාය.

ඇයට අනුවම ඇගේ ජීවිතයේ ඇය බෝහෝ ගැහැට වින්දාය. සංගීත ජීවිතයේ සාම්ප්‍රදායික ගායිකාවක අභිබවාගොස් බොහෝ අභියෝගවලට ඇය මුහුණදුන්නාය. ඇයගේ ජීවිත සමුගැනීම සමාජ මාධ්‍යයේ දෙපාර්ශවයක් අතර
බරපතල ගහමරා ගැනීමක් ද ප්‍රදර්ශණය කලේය. විශේෂයෙන්ම දේශපාලනික මතවාද ප්‍රකාශකල පමණින්ම ඒවා එහි ප්‍රතිවිරෝධයන්ටත් මුහුණ දිය යුතුය. එනිසාම වාද-විවාද මධ්‍යස්ථව විඳදරාගත යුතුය.

එහෙත් මියගිය දේහයක් මහමගදී දුටු විටත් හුනස්නෙන් නැගිටින,තම සතුරාගේ මලගමටත් ගොඩවන අපේ සංස්කෘතියේ වටිනාකම් අප අත්නොහැරිය යුතුය. කාගේ හෝ මරණයට පරිභව කිරීම මම හෙලා දකිමි. ඒනමුදු, ඔබ ජීවත්වූයේත්, අප ජීවත්වන්නේත් 'ප්‍රහාරය අශිෂ්ඨනම් ප්‍රතිප්‍රහාරයේ ශිෂ්ඨකම් සොයන්න එපා!" යැයි අර්ථ දක්වන නොසන්ඩාල යුගයකය. එවැනි සමාජයක මෙයට වඩා කුමක්නම් අප අපේක්ෂාකරන්නද?

අලුත් යුගයක් පිලිබදව මිනිසුන් තුල ඇති නොනවතින අපේක්ෂාවන් වෙනුවෙන් අලුත් නන්දා කෙනෙකු, හෙට දිනෙක ලාංකීය අඹරෙහි පායනු ඇත. ඇය ඒ වෙනුවෙන් ගයනු වයනු ඇත. අප හැරගිය නන්දා එහි නැවත නැවත ජීවමාන වනු ඇත. ඉතින් කවර හේතුවක් නිසාවෙන්වත්, කිසිවෙකුටවත් ලාංකීය සාහිත්‍ය ඉතිහාසයේ ඇය යටපත්කල හැකි නොවේ.
ඇය සදාකාලිකව ජීවමානවනු ඇත.

බහුතරය විසින්, මිනිසා-මිනිසෙකු විලසින් ඇගයෙන යුගයක නින්දා සහගත පරිබවය නතරවනු ඇත. එහෙත් ඇය විවේඡනාත්මක වූ නිසාම ඇය ද විවේඡනය වනු ඇත. එය ඇයගේ දිගුකාලීන පැවැත්මේ තීරණාතමක හරයක් බව මම දකිමි. කෙසේනමුදු ඔබ මගේ ගීත ලෝකයේ වීරවරියකි! තිබූ ආදරය හා ගෞරවය නොඅඩුව තිබේ!

ඉතිං!
අනේ මන්දා නාලිනියේ !
තවමත් අපි ආදරෙයි!
සුවසේ නිදන්න!

උපුල් නිශාන්ත සුභාවික්‍රම
23.08.2026

(ඡායාරෑපය Sisira Wijetunga මහතාගේ පිටුවෙන් උපුටා ගතිමි. දශක කිහිපයකට එපිට යුගයේ ලාංකීය ගායන ශිල්පීන් රටපුරා දොරින් දොර ජීවමාන වූයේ ඔහු නිසාවෙනි.)

පිරිසිදු මාතරක් වෙනුවෙන් දිවා රෑ නොබැලූ සේවක මණ්ඩලය!--------------------තැනින් තැන නගරය පුරා ගොඩගැසුන, දුගඳ හමන කුණු කඳු...
23/07/2026

පිරිසිදු මාතරක් වෙනුවෙන්
දිවා රෑ නොබැලූ සේවක මණ්ඩලය!
--------------------

තැනින් තැන නගරය පුරා ගොඩගැසුන, දුගඳ හමන කුණු කඳු යුගය නිමාකර නගරයේ සෑම නිවාසයක් ඉදිරිපිටටම පැමිණ කසල රැගෙනයන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සැලසුම් සහගත වැඩ පිලිවෙලක්, සිහින් හුයෙකින් පිළිවෙලක් ඇතිව මුතු අමුනන්නා සේ ක්‍රියාත්මක කරන්නට මට සිදුවුවිය. අලුත් වැඩක් පටන්ගන්නත්, එය බිඳනොවැටී ඉදිරියටම රැගෙනයන්නත් විශාල වෙහෙසක් දැරිය යුතුය.

නාගරික මන්ත්‍රීවරැන්ගේ අනුමැතියත්, නිළධාරීන්ගේ සහයෝගයත් ඒහි ඍජු කොටස්කරැවන්වන කම්කරැ කාර්යමණ්ඩලයේ සහ වැඩ පරිපාලකවරැන්ගේ අත්නොහැර කරපු කැපවීමත් අදටත් මාතර නගරයේ ඔබේ නිවස ඉදිරියට පැමිණ කසලටික රැගෙන යන ට්‍රැක්ටරය එන්නට හේතු සාධක විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නාගරික සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ කම්කරැ කාර්ය මණ්ඩලය හා වැඩ පරිපාලක කණ්ඩායම දිවා රෑ නොබලා වැඩකලෝය.

අවශ්‍යතාවය අනුව වැඩ පරිපාලකවරැ රෑ දොලහටත් රාජකාරියේ හිටිය අතර ඔවුන් මුහුණදෙන ගැටලුවලදී මහ රෑ දොලහටත් අපේ මහජන පරීක්ෂකවරැ ඔවුන්ගේ සහායට ආහ.

මෙම තත්වය පවත්වාගෙන යන්නත්, දිනෙන් දින වර්ධනය කරන්නටත් අපි නිරන්තරයෙන් කටයුතුකලෙමු. මේ අපේ කම්කරැ කාර්ය මණ්ඩලයට නිළ ඇදුම් ලබාදුන් ඒවැනි අවස්ථාවකි. සෞඛ්‍ය කම්කරැවන් රාත්‍රීකාලයේත් වැකරන නිසා ලුමිනස් වර්ණ සහිත ඇදුම් ලබාදුන් අතර ඉන්ජිනේරැ දෙපාර්තුමෙන්තුවට තද නිල් පාට ඔවරෝල් ලබාදෙන ලදී. ආරක්ෂිත හිස්වැසුම් සහ සපත්තු යුගලය බැගින් ද එයට එක්කලහ. මේ එම ඇදුම් හඳුන්වාදුන් දවසේ ගන්නාලද ඡායාරෑප කිහිපයකි! අපේ කම්කරැ මහත්මයෙක් මා සිටිනා ඡායාරෑපය ගෙනැවිත් පෙන්වූ අතර ඉතිරි කිහිපය මා සතුව තිබුනි.

මෙම කාලයවන විට නගර සභාව අතිෂය ආර්ථික අහේනියක් පසුකරමින් සිටි අතර SAVE THE CHILDREN ආයතනය මෙහිදී අපේ ප්‍රධාන හවුල්කරැවා විය.

23.07.2026

වෙනස්ම අදහස්, එක එක පාට, ඒත් එකම අරමුණක්!සක්‍රීය වූ මහා නගර සභා ප්‍රජා සංවර්ධන අංශය!පුරවැසි සභා පිහිටුවීම.--------------...
05/07/2026

වෙනස්ම අදහස්, එක එක පාට, ඒත් එකම අරමුණක්!
සක්‍රීය වූ මහා නගර සභා ප්‍රජා සංවර්ධන අංශය!
පුරවැසි සභා පිහිටුවීම.
---------------------

පලාත් පාලන ආයතනය යනු මහජනතාවට වඩාත්ම සමීප, එදිනෙදා ජීවිතයේ දී වඩාත්ම අවශ්‍යවන, තීන්දු තීරණ ගැනීමේ බලය ඇති එකම ආයතනයයි. එබැවින් මෙම දෙපාර්ශවය අතර ඇතිවන දුරස්ථබාවය නගරයම අවුලෙන් අවුලට රැගෙන යන බව මගේ අදහසවිය. ඒමනිසාම ශක්තිමත් ප්‍රජා සම්බන්දතාවයකින් හෙබි මහා නගර සභාවක් නිර්මාණය කලයුතුය. නාගරින පුරවැසියන් ද අපේ තීන්දුවල කොටස්කරැවන් කරගත යුතුය.

ඒ අනුව මාතර මහා නගරය කොට්ඨාස 15ට බෙදා වෙන්කල අතර ඒ සෑම කොට්ඨාසයකම පුරවැසි සභාවක් පිහිටුවීය. කොට්ඨාස නිළධාරිනියක පත්කල අතර ඇය මහා නගර සභාවේ පිළිගත් නිළයක් බවට පත්කලෙමි. මේ සදහා
මහා නගර සභාව සතු ප්‍රජා සංවර්ධන අංශය සක්‍රිය අංශයක් බවට පත්කලෙමි.

සෑම කොට්ඨාස සභාවක්ම පිහිටුවන විට අදාල බල ප්‍රදේශයේ ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබාදුන් අතර අපේ කොට්ඨාස නිළධාරිනිය තම බල ප්‍රදේශයේ පුරවැසියන්ට මෙම පණිවිඩය රැගෙන ගියේය. සෑම පක්ෂයක්ම නියෝජනය වන පිරිස් මෙම රැස්වීමට රැගෙන ඒම ඔවුන්ගේ ප්‍රධාන කාරියයක් විය. මෙම රැස්වීමේ දී එම කොට්ඨාසයේ පුරවැසි සුභාව පිහිටවීය. එහි නිළතල ප්‍රසිද්ධියේ යෝජනා ස්ථිරත්වයෙන් පත්කල අතර පක්ෂබේද නොසලකා එය සිදු කරන ලද අතර එසේ සිදුකිරීමට බලකර සිටියෙමි.
ගමේ පිලිගැනීමට ලක්වූවන් සමහරෙක් අනුසාශකවරැන් ලෙස ද පත්කරනු ලැබීය.

එම බල ප්‍රදේශයේ ජීවත්වන මන්ත්‍රීවරයා හෝ දෙදෙනා පක්ෂ බේදයෙන් තොරව එම සභාවේ සභාපත්වරයා බවට පත්විය. මෙම පුරවැසි සභාව මාස 04ට වරක් රැස්විය.

පුරවැසි සභා 15ම සකස්කිරීමෙන් අනතුරැව එහි නිළධාරීන් සදහා එකී සභාවන්හි කාර්ය භාරය හා වැඩකරනු ලබන ආකාරය පිළිබදව එක්දින වැඩමුලුවක් පැවැත්වීය. පටු වාද පසෙකලා අපේ නගරය වෙනුවෙන් එක්ව වැඩකරනා බවට
පැමිණි සියල්ලෝ 'සම්මුතිය' ට අත්සන් තැබීය.

මේ සමග පලකරනු ලබන්නේ එම වැඩමුලුවක හා සම්මුතියට අත්සන් තබන ඡායාරෑප සමූහයකි. මෙම ඡායාරෑප හොඳින් බැලීමේදී එහි විවිධත්වය ඔබට පෙනෙනු ඇත.

එසේම එදා සිටි නිළදාරීන් හා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් සමහරෙක් අද ජීවතුන් අතර නැත. ඔවුන් ගෞරවයෙන් සිහිපත් කරමි!

කිසිවෙකුගේ අවධානයට ලක් නොවීතිබූ මහා නගර සභාවේ ප්‍රජා සංවර්ධන අංශය මෙහිදී විශාලම කාර්යය ඉටුකලේය. එය සැබෑ ලෙසම දවසේ පැය 08ට වඩා වැඩකරන ස්ථානයක් බවට පත්විය. එවකට මාතර මහා නගර සභාවේ
ප්‍රජාසංවර්ධන නිළධාරීවරයා වූ රත්නායක මහතා ඒ සදහා අතිවිශිෂ්ඨ නායකත්වයක් ලබාදුන්නේය. කොට්ඨාස භාර නිළධාරීන් පහලොස්දෙනා ඉතාම කැපවීමෙන් කටයුතුකල අතර මේ නිසාම මහා නගර සභාව 'පුරවැසියන් අතර
සජීවීව ජීවත්විය'.

ගමේ ශ්‍රමදානය, ඩෙංගු පැරදවීම පමණක් නොව සංවර්ධන කටයුතු හා ඒවායේ සාර්ථක අසාර්ථක බව ඔවුන් විසින් පරීක්ෂාකලේය. වාර්ෂික අයවැයට යෝජනා ඉදිරිපත්කල අතර සිව් අවුරැදු සැලසුම්, ආපදා පෙර
සූදානම්කිරීම්, කලා පොල ආදී ලෙස හැම ස්ථානයකදීම ප්‍රජා සංවර්ධන අංශය විසල් මෙහෙයක් ඉටුකලේය. පුරවැසි සභාවන් සක්‍රීයව දායකත්වය සැපයීය. මහා නගර සභාවක ප්‍රජා සංවර්ධන අංශය කෙතරම් බලවත්ද යන්න මෙන්ම එයට ඉටුකලහැකි කාර්යය කෙතරම් ද යන්න
ඔවුහු සියල්ලෝ ඉදිරියේ ඔප්පුකර සිටියහ.

ශ්‍රී ලංකා පළාත් පාලන ආයතන සංසදය හා හේමන්ති ගුණසේකර මහත්මිය නිරන්තරයෙන් අපට ශක්තිය සැපයූ අතර ආසියානු පදනමේ ධම්මික මහේන්ද්‍ර මහතා අපේ කටයුතු සදහා විශාල අස්වැසිල්ලක් විය. එසේම ඉහත සියලු
දෙනා සමග කැපවූ සියලු ප්‍රජා නායකයින් ද සිහිකරනුයේ ඉමහත් ගෞරවයෙනි! වර්තමානය හා සසඳන්නේ නම් ඩෙංගු මාතර මහා නගර සභා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පාලනයට යටත්කරගන්නට ලැබුන ප්‍රධාන සාධක අතර මෙම පුරවැසි සභාව පෙරමුණ ගත්තතේය!

05.07.2026

ඩෙංගු වලින් එහාට මහා නගර සභාව.‍..!මහා නගර සභාව යනු  'පොදු මහජන සෞඛ්‍ය අධිකාරිය' බව ඔබ දන්නවාද..?---------------------මහා...
29/06/2026

ඩෙංගු වලින් එහාට මහා නගර සභාව.‍..!
මහා නගර සභාව යනු 'පොදු මහජන සෞඛ්‍ය අධිකාරිය' බව ඔබ දන්නවාද..?
---------------------

මහා නගර සභාවක් හෝ නගර සභාවක් හෝ ප්‍රාදේශීය සභාවක් නැතිනම් පළාත් පාලන ආයතනයක් යන්න සඳහන්කල පමණින් ඔබට සිහිපත්වන්නේ කුමක්ද?

මෙම ප්‍රශ්නය අති බහුතරයක් ලාංකිකයින්ගෙන් විමසූවිට ලැබෙන්නේ ඉතා සරල හා එකම පිළිතුරකි. එනම් 'කසල ඉවත්කිරීම' යන්නයි. තවත් සරළව කිවහොත් 'කසළ නම් නගර සභාව - නගර සභාව නම් කසල' ලාංකීය සමාජයේ විශ්වාසයයි.

එයින් ඔබ්බට ගිය දැක්මක් හෝ අවබෝධයක් කීයෙන් කී දෙනෙකුට තිබේදැයි ප්‍රශ්නකාරීය. ලංකාවේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් මෙන්ම මහජන නියෝජිතයන්ගෙන් එක 5‍%ට හෝ එවැනි අවබෝධයක් තිබේදැයි මට සැකසහිතය.

'කසල කළමනාකරණය' යන්න මහා නගර සභා ආඥා පනතින් පැවරී ඇති අති විශාල වගකීම් සමුදායක වගන්තියක් හෝ දෙකක් පමණි.

නමුත් ඔබ දැන සිටින්නේ කුමක්ද? මහා නගර සභාවක් යනු සිය නගරයේ 'පොදු මහජන සොඛ්‍යය පිළිබදව අධිකාරිය' බව ඔබ දන්නවාද?

මහා නගර සභාව, තම නගරය තුල මහජන සෞඛ්‍ය ප්‍රරෝහණය කිරීමේ, ආරක්ෂා කිරීමේ කාර්යයන් සදහා වූ පොදු පරිපාලන අධිකාරිය වියුතු අතර, එයට මහා නගර සභා ආඥා පනතින්, කරදර පිළිබද ආඥා පනතින්, නිවාස හා නගර සංවර්ධන ආඥා පනතින් සහ ඒ සදහා තත්කාලයේ පවත්නා යම් ලිඛිත නීතියකින් ඊට පවරා ඇති සියලු බලතල ඒ කාර්යය සදහා ක්‍රියාත්මක කිරීමේ හිමිකම, වගකීම හා බලතල පැවරී තිබේ. මහා නගර සභා ආඥා පනත කියාසිටින්නේ එසේය.

මෙහි පහත පලකෙරෙන ඡායාරෑප එයට සම්බන්දය.

මා මාතර නගරය භාර ගන්නා විට නගරය පුරා කසල කඳු ඇතිතරම් තිබුනි. පුරවැසියන් බහුතරය නගරයේ ඇති කසල ගොඩකට තම කසල ගෙනැවිත් දැමුවේය. කසල එකතුකරන ට්‍රැක්ටරයක් ගෙයින් ගෙට ආවේ නැත. මම එම යුගය සම්පූර්ණයෙන්ම අවසන් කලෙමි. අදටත් මාතර නගරයේ නිවාස ඉදිරිපිට ගමන්කරනා කසල එකතුකරනා ට්‍රැක්ටර් මූලිකව තවමත් දිවයන්නේ මා විසින්ම සකස්කල සැලැස්ම මතය. මම ඉන් අනතුරැව පුරවැසියන්ගේ සෞඛ්‍යය පිලිබඳව අප වෙත පැවැරී ඇති වගකීම දෙසට හැරැණෙමි. මෙම ඡායාරෑප එයින් එක් කරැණක් හා බැඳී පවතී.

කසල කළමනාකරණය මෙන්ම ඩෙංගු බෝවීම ද ඒ වන විට නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව සිය පාලනයට යටත්කොටගෙන තිබුනි. එම නිසාම අපේ කණ්ඩායමට සිය අනෙකුත් වගකීම් වෙනුවෙන් කාලය හා අවස්ථාව තිබුනි. මේ ඡායාරෑප අපි විසින් නගරයේ හෝටල් සහ ආපන ශාලා හිමිකරැයවන් පිරිසක් සමග පැවැත්වූ එක් සාකච්ඡාවකි. ඕනෑම කාර්යයක් ආරම්භයේ දී එය බලපානා, වගකීමට බැදී සිටිනා පිරිස් හා පාර්ශවයන් සමග මිත්‍රශීලී හා ගැඹුරැ සාකච්ඡාවකට යාම මගේ ක්‍රමයයි.

පිරිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක්, ප්‍රසන්න පාරිබෝගික සේවාවක්, ආචාරශීලී කාර්යය මණ්ඩලයක් , ප්‍රියමනාප ආයතන පරිසරයක් මෙන්ම සෞඛ්‍ය නීතිරීතීන්ට අනුකූලවූ ආයතන පරිසරයක් ඇතුලු කරැණු අපේ ඉලක්කය විය. තව දුරටත් කිවහොත් නගරයේ හෝටල් හා ආපන ශාලා සේවාව ප්‍රශස්ථ මට්ටමකට රැගෙනඒම අපේ අරමුණ විය.

ආපනශාලා පරීක්ෂා කිරීමට බාහිර කමිටුවක් සැකසූ අතර එය වෛද්‍යවරයෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, නාගරික සෞඛ්‍ය කමිටුවේ සභාපතිවරයා සමග නගරයේ අයබදු ගෙවන්නන්ගේ සංගමයේ නියෝජිතයන් දෙදෙනෙකුගෙන් සමන්විත විය. වෙළද සංගමයට ද නියෝජිතයෙකු පත්කිරීමේ අවස්ථාව ලබාදුනි.

මෙම කමිටුව විසින් ආපන ශාලාවලට අදාලව ඉහත කී ඉලක්ක පරීක්ෂාවට ලක්කල අතර වේටර්වරැන්ගේ හැසිරීම, ඔවුන්ගේ පිරිසිදුකම එනම් ඔවුන්ගේ නියපොතු පවා පරීක්ෂාකලේය. ඒ අනුව නගරයේ ආපනශාලා A, B, C කාණ්ඩවලට වෙන්කලේය. එයට සමගාමී ප්‍රචාරක වැඩසටහනක්, ප්‍රවර්ධන වැඩසටහනක් සහ නාගරික ආපන ශාලා කර්මාන්තයේ කාර්යසාධන වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ද සකස්කල නමුදු මාගේ නගරාධිපති ධූරය අවසන්වීමත් සමග ඒවා ක්‍රියාත්මක නොවීය.

SLS සහතිකය මෙන් නගර සභාවේ 'A කාණ්ඩයේ' ආපන ශාලාවක් බවට තම හෝටලය පත්කර ගැනීමට එම ව්‍යාපාරිකයන් පෙළඹවීමත්, පුරවැසියන්ට එවැනි හෝටල් හඳුන්වාදීමත් අපේ අරමුණ විය. මේ අනුව ලබාදුන් A ශ්‍රේණියේ සහතික පත්‍රයක් ඉතා මෑත දිනක දී ද හරිස්චන්ද්‍ර කර්මාන්තායතනයේ ඇති ආපන ශාලාවේ හා සැනායා හොටලයේ එළිමහන් ආපන ශාලාවේ ද දකින්නට තිබුනි. සමහර විට තවමත් ඒවා තිබෙන්නට පුලුවන.

මෙය හොටල් හිමියන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් අතර ඇතිවන ගැටුම් අවම කිරීමට ද සමත් වූ අතර සුහදත්වය වර්ධනය කලේය.

මෙම කාර්යයට නායකත්වය දුන්නේ මෙම ඡායාරෑපයන්හි සිටින එවකට මාතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය වූ වෛද්‍ය සුභසිංහ මහත්මියයි. ඇය තම වගකීම අතිශය කැපවීමෙන් ඉටුකල මාතර මහා නගර සභාවේ වෛද්‍යවරියයි. ඒ සමගම සිටින එවකට ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වූ වීරකෝන් මහතා නාගරික කසල කළමනාකරණයේ සිට සියලු සෞඛ්‍ය කාර්යයන්හි වගකීම කැපවීමෙන් ඉටුකලේය. අභාවප්‍රාප්ත හිටපු නාගරික මන්ත්‍රීනලීන් අබේගුණවර්ධන මහතා නාගරික සෞඛ්‍ය කමිටුවේ සභාපතිත්වය ඉසිලුයව්ය.

නාගරික මන්ත්‍රී කණ්ඩායම සමග මා සැකසූ වැඩසටහන් හා ඉලක්ක හඹාගොස් ජයග්‍රහනය සනිටුහන් කිරීමට ඔවුන් කල කැපකිරීම අතිමහත්ය.

29.06.2026

පසුගිය දිනවල මෙම පිටුවේ පලකරන ලද පැරණි මතකයන් අලුත්කරන ඡායාරෑප පෙලත් සමග අප සතුව ඇති එවැනි ඡායාරෑප පලකරන මෙන් මිතුරන් බො...
28/06/2026

පසුගිය දිනවල මෙම පිටුවේ පලකරන ලද පැරණි මතකයන් අලුත්කරන ඡායාරෑප පෙලත් සමග අප සතුව ඇති එවැනි ඡායාරෑප පලකරන මෙන් මිතුරන් බොහෝ පිරිසක් ඉල්ලාසිටියෝය. සමහරෙක් තමන් සතු ඡායාරෑප එවා තිබූ අතර තවත් සමහරෙක් විවිධ අවස්ථා සිහිගන්වමින් එම අවස්ථාවල ඡායාරෑප තිබේදැයි විමසමින් ඒවා ද පලකරනමෙන් ඉල්ලා සිටියහ. මේ අතර මාතර මහා නගර සභාව ලංකාවේ හොඳම නගර සභාව දක්වා ගිය ගමනේදී දායකත්වය සැපයූ තවමත් රාජකාරියේ සිටින හා විශ්‍රාමික මහත්ම මහත්මීන් ද එවැනි ඉල්ලීම් අප වෙතයොමුකර ඇත.

එබැවින් අවස්ථාව ලැබෙන පරිදි ඉහත කරැණුවලට අදාල සහ උපුල් නිශාන්ත මහතා හා සම්බන්ද පැරණි ඡායාරෑප පෙලක් පලකරන්නට අදහස්කරමු! එය 'කාච සටහන්' ලෙසින් ඔබ වෙත ගෙන එන්නෙමු! මෙම මාතෘකාවන්ට අදාල හා උපුල් නිශාන්ත මහතා හා සම්බන්ද ඡායාරෑප ඔබ සතුනම් අප වෙත inbox කරනා මෙන් හෝ WhataApp කරනා මෙන් ද කාරැණිකව ඉල්ලා සිටිමු!

මේ ඡායාරෑපය මම මෙයට පෙර සඳහන් කරපු ඩෙංගු පරාජය කිරීමේ වැඩසටහනේදී ගතපු එකක්! මෙයට පෙර මා ලඟ තිබුනත් එය මගෙන් මගහැරී තිබුන...
24/06/2026

මේ ඡායාරෑපය මම මෙයට පෙර සඳහන් කරපු ඩෙංගු පරාජය කිරීමේ වැඩසටහනේදී ගතපු එකක්! මෙයට පෙර මා ලඟ තිබුනත් එය මගෙන් මගහැරී තිබුනා. නමුත් පසුගිය ඩෙංගු පැරදවීමේ වැඩසටහනේ ඡායාරෑප හා විස්තරය පලකරාට පසු කිහිප තැනකින්ම මට පැරණි තොරතුරැ හා සමහර ඡායාරෑප එවා තිබුනා. ඒ අයට ස්තුතියි! මේ ඡායාරෑපයත් එහෙම නැවත ලැබුනා.

වැඩසටහනක් කියන්නේ සම්පූර්ණයෙන්ම නිලධාරීන් මත පටවපු එකක නොවියයුතුයි. විශේෂයෙන්ම පුලුල් මහ මහජනතාව සමග වැඩ කිරීමේදී එය වැදගත්! වැඩ සටහන ප්‍රජාව සමග බද්ධකරන්න අත්‍යාවශ්‍යයි. ඒකට අපට Home works ගොඩක් තිබෙනවා. වැඩසටහන දවසෙ නියම වෙලාවට පැමිණීම සමහර උත්සවයකට සුදුසු උනාට, ප්‍රජාව සමග වැඩසටහනකට ගැලපෙන්නේ නැති බව මගේ අදහසයි. මේ වෙලේගොඩ අපේ ගමේ අය සමග ඩෙංගු පරාජය කිරීමේ වැඩසටහන සූදානම් කරන අවස්ථාවක්! Home works හොඳින් කලාම පහුවදා ප්‍රතිඵල ආශ්වාද ජනකයි! වැඩසටහන සාර්තක වෙනවා! ඒකට එන ජනතාව ප්‍රබෝධමත්ව එකතුවෙනවා! ඒ සියල්ල අතරේ තමන් ලබන ස්වයං අභිප්‍රේරණය තව කැපවීමෙන් ඉදිරියට යන්න පාර කපනවා!

Address

15/B2, Sumanasara Mawatha
Matara
81000

Telephone

+94777596928

Website

Alerts

Be the first to know and let us send you an email when Upul Nishantha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share