27/06/2026
විහාරස්ථානයේ ඉතිහාසය
බස්නාහිර පළාතේ උතුරු අලුත්කූරු කෝරළයේ දාසිය පත්තුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ඡන්ද කොට්ඨාශයේ යටියන නම් සුන්දර ගම්පියසේ කඳු මුදුනෙක පිහිටි යටියන ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ ආරම්භය ඉතා දීර්ඝ ඉතිහාසයකට දිව යයි.
මෙම ගම්මානයට යටියන නාමය හැදුන ආකාරය ගම්වැසියන්ගෙන් අසන්නට ලැබුණේ මෙම භූමි ප්‍රදේශය පුරාම වල්මී වැල් වලින් පිරී තිබුණ බවත්, ඒ අනුව වල්මී වලට සංස්කෘත භාෂාවෙන් යෂ්ටි යන නාමයද වැල් වලට වාන යන්නද එකතුවී යෂ්ටිවාන යන නම යෙදුන අතර පසු කාලීනව එය යටියන නමින් සංශෝධනය වී ඇත. මෙම කඳු මුදුනේ විහාරස්ථානය ආරම්භ වීමට පෙරතුව දේවාලයක් තිබුණ බවත්, එම දේවාලය කන්ද දේවාලය ලෙස හැඳින්වූ බවත් සඳහන් වෙයි. මෙම දේවාලයට බොහෝ ජනයා භාරහාර වීමට පැමිණි බවද, ජනප්‍රවාදයේ සඳහන් වෙයි.
ඇතැම් ඉතිහාස විශ්වාස වලට අනුව මේ සුන්දර පන්සලේ ඉතිහාසය සකලකලා වල්ලභ රජ දක්වා දිවෙන බවත්ය. එයට පවතින මතවාදීමය හේතු කරුණු වූයේ,
එම රජ දවස එතුමානො විසින් විහාරස්ථානයක් නිර්මාණයට කැමතිව ගම් නියම් ගම් හැසිරෙන කල් හි මෙම මනරම් ස්ථානය දැක සතුට ට පත්ව වැල් මී බහුල වූ මෙම ප්‍රදේශය ට පැමිණි බවත් තමන්ගේ රන් යෂ්ටිය අධාර ඇතිව ආ තමන් වහන්සේගේ යෂ්ටිය මෙම විහාරස්ථාන පැරණි බුදු මැදුර පවතින ස්ථානයේ හි ගිලා බැස ඇති බවත් එම ස්ථානයේ එම විහාරස්ථානය ගොඩ නැගු බවත්ය. (එක් මතවාදයක් පමණි.)
තවත් මතවාදයක් වූ යසලාලක රජ දවස මෙය ගොඩ නැගු බවත් ය. එම නිසා එය කුමන කාලයට දිව යන බවද කීම අපහසු වේ.
එහෙත් පවතින පැරණි බුදු මැදුරේ නිර්මාණය ඇති බුදු පිළිම වහන්සේ දෙනම හා විෂ්ණු දෙවියන්ගේ පිළිමය ට අනුව එය මහනුවර දෙවැනි භාගයට නෑකම් කියන බවය.(නිශ්චිත මතවාදී සංකල්පයක් නොවේ.)
එම විහාරස්ථානය ඈත අතීතයේ සිදු විම් පෙළගැස්සිමේදී යටත් විජිත අධිරාජ්‍ය කාල සමයේ දී එම විහාරස්ථානය සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් සැඟවී බේරී සොරත නම් ගණින් වහන්සේ නම් භික්ෂුවක් ය.
(එනම් ගණින් වහන්සේලා යනු මහනුවර යුගයේ ලංකාවේ භික්ෂු ශාසනය පිරිහී උපසම්පදාව අහිමි වී තිබූ වකවානුවේදී, විහාරස්ථාන භාරව කටයුතු කළ අර්ධ-පැවිදි පිරිසකි.
ඔවුන් නියම භික්ෂූන් මෙන් විනය නීති අනුගමනය නොකළ අතර; සිවුරු වෙනුවට කහ හෝ සුදු රෙදි කඩක් පෙරවූහ. එසේම බොහෝ දෙනෙකුට අඹුදරුවන් සිටි අතර, ඔවුන් ගොවිතැන්, වෙදකම් හා යන්ත්‍ර මන්ත්‍ර වැනි ගිහි කටයුතුවල නිරත වූහ.
කෙසේ වෙතත්, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් විසින් යළි උපසම්පදාව පිහිටුවන තෙක් බෞද්ධ වෙහෙර විහාර සහ ඒවායේ දේපළ විනාශ වීමට නොදී ආරක්ෂා කරගනු ලැබුවේ මොවුන් විසිනි.)
මෙහි වැඩ වාසය කරමින් පන්සල රැක බලා ගත් බවත් ඉන් පසුව අභාවයට යමින් නැවත පණ නැගෙමින් යටියන ගම්මානය පුරා විරාජමානව ඇති බවය.
දැන ට හාමුදුරුවන් 70 නමක් මෙම විහාරවාසීව වැඩ සිටි බවය.
පසු කලෙක මෙම ස්ථානයේ සිල්වත් තවුසකු වැඩ සිටි බවත්, සඳහන් වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ පහලගම විද්‍යාවර්ධන පිරිවෙන්හි වැඩසිටි පහලගම සෝමානන්ද නායක හාමුදුරුවන් වහන්සේ ආඬිඅම්බලම සුනේත්‍රාරාමයට වැඩම කර ටික කලකින් යටියන විසු සිංහ ආයුර්වේදයේ වෙදමහත්මයාගේ ආරාධනාවකින් 1870 දී පමණ මෙම විහාරස්ථානය ආරම්භ කරන ලදී. උන් වහන්සේ ශාසනික සේවාවන් සිදු කල අතර 1900 දී යටියන සරණතිස්ස නමින් ශිෂ්‍ය රත්නයක් පැවිදි කර ගන්නා ලදී.
නිසි අධ්‍යාපනය ලැබූ උන් වහන්සේ 1910 දී උපසම්පදා කරන ලදී.
ටික කලකින් 1913 දී යටියන විපුලතිස්ස දෙවන ශිෂ්‍ය රත්නය ද පැවිදි කරන ලදී.
උන්වහන්සේද 1928 දී උපසම්පදා කරන ලදී. මෙසේ ශාසනික සේවාවන් සිදු කරමින් සිටියදී 1931 ජනවාරි 07 වන දින පහලගම සෝමානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ අපවත් වූහ.
උන් වහන්සේගේ අපවත් වීමෙන් පසු විහාරස්ථානයේ අධිපති වශයෙන් මීගමු හලාවත දෙදිසාවේ සංඝනායක යටියන සරණ තිස්ස ලොකු හාමුදුරුවන් පත්විය.
මෙසේ ටික කලක් ශාසනික සේවාවන් සිදු කරමින් සිටියදී උන් වහන්සේ යටියන විපුල තිස්ස ලොකු හාමුදුරුවන් වහන්සේට මෙම විහාරස්ථානය භාර දී යකඩගාවල තිලෝකාරාමයට වැඩම කොට එම විහාරස්ථානයේද ටික කලක් වැඩ සිට ආඬිඅම්බලම ශ්‍රී වේළුවනාරාම විහාරස්ථානය ආරම්භ කරන ලදී.
පසු කලෙක එය සරණ තිස්ස පිරිවෙන නමින්ද, ප්‍රසිද්ධියට පත්විය. උන් වහන්සේලාගේ ශිෂ්‍යයන් වශයෙන් යටියන උපතිස්ස, ලොකු හාමුදුරුවන් වහන්සේ ආඬිඅම්බලම සුගුණතිස්ස ලොකු හාමුදුරුවන් වහන්සේ පැවිදි කර ගන්නා ලදී.
මෙසේ සිසු පිරිසක් බිහි කරමින් සිටියදී 1980 ජුනි මස 08 වැනි දින මීගමු හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක යටියන ශ්‍රී සුධර්මාරාම විහාරාධිපති, ආඬිඅම්බලම ශ්‍රී වේළුවනාරාමාධිපති, (සරණතිස්ස පිරිවෙන් පති) යටියන සරණතිස්ස ලොකු හාමුදුරුවන් වහන්සේ අපවත් වූහ.
එමෙන්ම 1988 යටියන ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටි යටියන විපුල තිස්ස ලොකු හාමුදුරුවන් වහන්සේ 1988 මාර්තු මස 23 දින අපවත් වූහ. 1989 මාර්තු 02 වන දින යටියන උපතිස්ස ලොකු හාමුදුරුවන් වහන්සේද අපවත් විය.
ඉන් අනතුරුව මීගමුව හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක යටියන ශ්‍රී සුධර්මාරාමය පුරාණ විහාරස්ථානයේ සහ ආඬිඅම්බලම ශ්‍රී වේළුවනාරාම විහාරස්ථානයේ (සරණතිස්ස පිරිවෙන්පති) විහාරාධිපති ආඬිඅම්බලමේ සුගුණතිස්ස ලොකු හාමුදුරුවන් වහන්සේ මේ දක්වා ප්‍රදේශයට මහඟු ශාසනික සේවාවක් සිදු කරමින් වැඩ සිටී.
උන්වහන්සේගේ අදහසක් අනුව පීල්ලවත්ත විජය බෝධි විහාරස්ථානය 1997 ආරම්භ කරන ලදී.
උන් වහන්සේගේ ශිෂ්‍යයන් වශයෙන් වැඩ සිටි බමරගම පියතිස්ස,
තෝවත්තේ සුගතතිස්ස ශිෂ්‍යයන් හදිසියේම රෝගාතුර වී අපවත් වූහ.
මෙම විහාරස්ථානය තුළින් සිදු වන ශාසනික සේවාවන් නම් දරුවන්ගේ දහම් අධ්‍යාපනය වර්ධනය කිරීම සඳහා ශ්‍රී සෝමානන්ද දහම් පාසල පිහිටුවන ලදී. තවද, කුඩා දරුවන්ගේ පෙර පාසලක්ද මෙම විහාරස්ථානය තුළින් ක්‍රියාත්මක කෙරේ.
වාර්ෂිකව සිදු කරන පිංකම් අතර,
කඨින පිංකම,
වාර්ෂික දාන පිංකම, (අපවත් වී වදාළ නායක හිමිවරුන්ට පිං පැමිණවීම පිණිස හැම වසරකම ජනවාරි 07 වන දින මෙම පිංකම සිදු කරනු ලබයි)
දහම්පාසැල තුළින්ද විශාල සේවාවක් ප්‍රදේශයට සිදු වෙයි. මෙසේ විශාල ශාසනික සේවාවක් සිදු කරන මෙම විහාරස්ථානය බෞද්ධ බැතිමතුන්ගේ සිත් නිවන තෝතැන්නක් බඳුය.
වර්ථමානයේ විහාරස්ථානයේ තල්පොත ධම්මතිස්ස හිමියන් විසින් විහාරස්ථාන කටයුතු මැනැවින් සංවිධාන කරමින් ය.
සංස්කරණය : Sandun Rashmika Senarathna
゚