29/03/2026
අවසන් මෙහෙයුම 10 කොටස
=============
පසුගිය කොටසින්
=============
+++++++++++++++++++++++++++
පෘථිවි කක්ෂයට සමාන්තරව පැයට සැතපුම් 22,000ක වේගයෙන් ගමන් ගන්නා විශාල මව් යානයේ එක් පැති බිත්තියක් පුරා පැතිරුණ ත්‍රිමාණ තිරය දෙස නෙත් යොමාගෙන සිටින පිටසක්වළ ජීවීන් සය දෙනෙකි. විද්‍යුත් දර්ශන විශ්ලේෂකයක් ද තිරය අසල විය. ඔවුහු තිරයේ දිස්වෙන පෘථිවි ග්‍රහයා ගවේෂණය කරමින් සිටියහ. පොළව වටා වූ වායුගෝලය විශාල කර්මාන්තශාලාවලින් පිටවන විෂ සහිත තද කළු දුම්රොටුවලින් දූෂිතව තිබූ අතර පොළව හා සාගර දිරාපත් නොවන කැළිකසළ හා අපද්‍රව්‍යවලින් දූෂණය වී තිබුණි.
=============
හැකිනම් Share කරල සහයක් දෙන්න. තවමත් අපේ පිටුවට එකතු වෙලා නැති යාලුවො Follow එකක් දාල අපේ පිටුවට එකතු වෙන්න. දිගටම අලුත් කතා කියවන්න පුලුවන්.
අද එතැන්සිට……….
=============
වරක් නිල් කැටයක් මෙන් පැහැදිලිව තිබූ සාගරය දෙස බැලූ සක්වළ සරන්නෝ බෙහෙවින්ම ශෝකයට පත්වූහ. පෘථිවි සාගරවල අති විශාලම කොරල්පරය වන මහා බාධක පරයට එහි සුන්දරත්වය අහිමි වෙමින් තිබූ අතර කෝටි ගණන් මත්ස්‍යයෝ මැරී යමින් සිටියහ. විශාලම වැසි වනාන්තරය, ඇමේසන් වනයේ, තැන් තැන් නිසරු බිම් බවට පරිවර්තනය වී ඇත. මීට තෙවසරකට ඉහත දී ඔවුන් කළ ගවේෂණ චාරිකාව අවස්ථාවේ දී තිබූ වායුගෝලීය උෂ්ණත්වය තවත් අංශක තුනකින් ඉහළ ගොස් ඇති බව ඔවුන්ගේ උපකරණ වල සටහන් විය. පොළෝ වැසියන් යුදකාමයෙන් ඇළලී සිටින බව ඔවුන්ට වැටහී තිබුණි. ඔවුහු චිත්තධාරා මගින් අදහස් හුවමාරු කරගත්හ.
“පෘථිවි වැසියන්ගේ කිසිම වෙනසක් වෙලා නැහැ.”
“අපරාදෙ, ඔවුන් කිසිවක් ඉගෙන ගෙන නැහැ.”
“අපට සිද්ධ වෙනවා ඔවුන්ව දැනුවත් කරන්න.”
“ඔබ අපේ පිරිස සම්බන්ධ කරගත්ත ද?”
“නැහැ. ප්‍රශ්නයක් වගේ. පිළිතුරු දෙන්නේ නැහැ.”
“හොඳයි තව උත්සාහ කරලා බලන්න. අපි කොහෙම හරි ඒ යානය සොයා ගත යුතුයි.”
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
මේ අතර ඊට අඩි දහස් ගණනක් පහළින් සිටි රොබට් දුරකථන ඇමතුමකින් ජෙනරාල් හීලියාඩ් සම්බන්ධ කරගෙන සිටියේය.
“ආයුබෝවන් කමාන්ඩර්. ඔබට වාර්තා කරන්න යමක් තියෙනවා ද?”
“කාලගුණ බැලුනය ගැන ද ජෙනරාල්..... ඒක පියාඹන පීරිසියක් බවට පත්වෙලානෙ.” මඳ විරාමයක් නිහඬව ගතවුණි.
“ඔව්, මං දන්නවා. නමුත් විශාල වැදගත් ආරක්ෂක හේතූන් මත ඒ ගැන ඔබට මුලින්ම කියන්න අපහසු වුණා.” නැවතත් නිහැඬියාවක්.
“මම ඔබට කියන මේ දෙය ඉතාමත් රහසිගතයි කමාන්ඩර්. අපේ රජය මීට අවුරුදු තුනකට ඉහත දී පිටසක්වළ පිරිසක් සමග හමුවීමක් ඇතිවුණා. ඔවුන් ගොඩබැස්සේ අපේ නේටෝ ගුවන් කඳවුරට. අපට ඔවුන් සමග අදහස් හුවමාරු කරගන්න හැකිවුණා......”
“මොනවා..... මොනව ද ඔවුන් කීවේ?”
“ඔවුන් උත්සාහ කරන්නේ අපව විනාශ කරන්න”
“අපව විනාශ කරන්න?” රොබට් දැඩි කම්පනයකට ලක්විය.
“ඔව්, ඔවුන් කිව්වා. නැවත ඇවිදින් අපව වහලුන් කරගන්නවා කියලා. ඒක වළක්වන්න ක්‍රමයක් නැහැ. නමුත් අපි ඔවුන්ව වළක්වන්න ක්‍රමයක් සකස් කරනවා. නමුත් මහජනයා කලබල වීම වළක්වා ගැනීම ඉතාම වැදගත්. දැන් ඔබට වැටහෙනවා ඇති මේ සාක්ෂිකාරයො කොතරම් වැදගත් ද කියලා. මේ සිද්ධිය සාකච්ඡාවට ගන්න එපා කියලා ඔවුන්ව වහාම දැනුවත් කිරීම ඉතාම වැදගත්.”
“මේ ගැන මහජනතාව දැනුවත් කරලා ඔවුන්ව මේ සඳහා සූදානම් කළොත්......” රොබට් විමසීය.
“අපි මේක රහසිගතව කරන්නේ සාක්ෂිකරුවන්ගෙ වගේම මහජනතාවගේ ආරක්ෂාවට.”
රොබට්ගේ සිරුර දහදියෙන් තෙත්වන බවක් ඔහුට දැනුණි.
“මට තේරෙනවා, ඔබ එක් සාක්ෂිකාරයෙක් හොයාගෙන වගේ.” ජෙනරල් හීලියාඩ් පැවසුවේය.
“ඔව් දෙන්නෙක්වම”
“ඔවුන්ගේ නම්?”
“හෑන්ස් බෙකර්මන් - බස් රථයේ රියදුරා. පදිංචිය කැපල් කියන ගමේ. දෙවැනියා, ප්‍රිටිස් මැන්ඩල් බර්න්වල ඔහුගෙ ගරාජයක් තියෙනවා. ඔහු තමා තුන්වැනි සාක්ෂිකාරයගේ රථය ඇදගෙන ආවේ.”
“තුන්වැනියගෙ නම?”
“මම තවම ඔහුව හොයනවා. මම මේ අයට උපදෙස් දෙන්න ද පියාඹන පීරිසිය ගැන කතා කරන්න එපා කියලා?”
“නැහැ. ඔබේ රාජකාරිය ඔවුන්ව සොයාගැනීම පමණයි. අපි අදාල රජයන්ට ඉඩ දෙනවා ඒ කටයුත්තට. ඔබ දන්න තරමින් සාක්ෂිකාරයො කී දෙනෙක් ඉන්නව ද?”
“බස් මගීන් හත්දෙනයි. රියදුරයි, කාර්මිකයයි, කාර් එකේ ආව පුද්ගලයයි විතරයි.”
“ඔබ මේ දහ දෙනාම සොයාගත යුතුයි. තේරුණා ද?”
“හොඳමයි ජෙනරාල්”
රිසිවරය තැබූ රොබට් දැඩි අපහසුවකින් යුතුව කල්පනා කරන්නට විය. පියාඹන පීරිසියේ කතාව ඇත්තකි. පිටසක්වළ ජීවීන් අපේ හතුරො. එය භයානක සිතුවිල්ලකි. නමුත් රොබට්ට මේ තොරතුරු වසන් කෙරුවේ මන් ද? තවත් රහස් තියේ ද?
ජීනීවා හි නගර මධ්‍යයේ වූ ඒවිස් කුලී රථ සමාගමට රොබට් වේගයෙන් කඩා වැදුනේය. විමසීම් කවුළුවේ සිටියේ කාන්තාවකි.
“ඔබට අවශ්‍ය මොනව ද?”
රොබට් තමා අත වූ අංකය සහිත කොළ කැබැල්ල මේසය මත තැබුවේ කෝපයෙනි. “ඔබ මේ කාරය ගිය සතියේ කුලියට දුන්නා. මට මේක කුලියට ගත් පුද්ගලයාගේ නම අවශ්‍යයි.”
“කණගාටුයි. අපි තොරතුරු කිසිවක් පිටට දෙන්නේ නැහැ.” මදක් කැළඹණ ලිපිකාරිනිය පැවසුවාය.
“ගිය ඉරිදා මේ කාරය මගේ වාහනයට විශාල විදියට හානි කළා. මිනිහ පැනගත්තා. නමුත් මම අංකය ලියාගත්තා.”
“ඕ! පොඩ්ඩක් ඉන්න.” කියූ කාන්තාව කාර්යාලය තුළට ගොස් ලිපිගොනුවක් ගෙන ආපසු ආවාය.
“එන්ජිමේ ප්‍රශ්නයක් විතරයි වාර්තා කරලා තියෙන්නේ. අනතුරක් ගැන සඳහන් වෙලා නැහැ.”
“හොඳයි මම දැන් සඳහන් කරනවා මේ හානියට වගකිව යුත්තේ ඔබේ සමාගම. මගේ කාරෙක අලුත්ම එකක්. මම විශාල වන්දියක් ඉල්ලනවා.”
“කනගාටුයි මහත්මයා, අනතුරක් ගැන වාර්තාවෙලා නැති නිසා අපට ඒකට වගකියන්න බැහැ.”
රොබට් මදක් සන්සුන් ලීලාවක් ආරූඪ කර ගත්තේය.
“අපි සාධාරණ වෙමු. මට අවශ්‍ය නැහැ ඔබේ සමාගම මේ සිද්ධියට පටලව ගන්න. මට අවශ්‍ය මේ මිනිහ මුණ ගැහිලා මට කරපු පාඩුවට යම් මුදලක් ගන්න. පොලිසි ගිහින් රස්තියාදු වෙන්න බැහැනෙ. අපි මේක ගොඩින් බේර ගනිමු.”
“හොඳයි අපේ සමාගම පටලව ගන්නේ නැහැනේ” එයට සතුටු වූ බවක් ඇඟවූ ලිපිකාරිනිය තම අත වූ ලිපිගොනුව දෙස බැලීය. “ඔහුගේ නම ලෙස්ලි මදර්ෂෙඩ් - 213 ඒ, වයිට් චැපල්, ලන්ඩන්.”
ඊළඟට රොබට් සිටියේ ලන්ඩන් බලා පිටත්වන ස්විස් එයාර් ගුවන් යානයකයි.
%%%%%%%%%%%%%%%%%%%%%%%%
තවදුරටත් මේ රහස එළිදරව් වීම වළක්වා ගැනීමේ සැලසුම් පිළිබඳව කල්පනාවේ නිමග්නව සිටි ජෙනරාල් හීලියාඩ් ගේ දුරකථනය නාදවිය.
“මම ජානුස්”
“ජානුස්, මම ජෙනරල් හීලියාඩ්.”
“කොහොම ද වැඩකටයුතු?”
“කමාන්ඩර් බෙලම් පළමු සාක්ෂිකරුවන් තුන්දෙනා සොයාගෙන.”
“බොහෙම හොඳයි. ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වෙන්න.”
“හොඳයි සර්.”
“කමාන්ඩර් දැන් කොහෙ ද?”
“ලන්ඩනයට යන අතරමග. තුන්වෙනියා ඉක්මණින්ම ලැබෙයි.”
“හොඳයි මම ඔහුගේ සාර්ථකත්වය ගැන කමිටුව දැනුවත් කරන්නම්. සැමවිටම මට තොරතුරු සපයන්න.”
“හොඳමයි සර්, මම කියන්නේ නම්................”
ජෙනරාල්වරයා යමක් කීමට පෙර ජානුස් රිසීවරය තැබීය.
මධ්‍යම රාත්‍රියේ, යුතෙන්ඩොෆ් හි සිට සැතපුම් පහළොවකට එහායින් වූ ගොවිපළේ කුඩා නිවස තුළ තද නින්දේ සිටි නිවැසියන් අවදි වූයේ නුපුරුදු සිදුවීම් මාලාවක් සමගිනි. නිවැසි වැඩිමහලු දරුවා තිගැස්සී අවදි වනවිට ඔහුගේ කාමරය දීප්තිමත් කහ ආලෝකයකින් බැබළුන අතර ඔහු නැගිට එය පරීක්ෂා කිරීමට යාමේ දී එම ආලෝකය අතුරුදහන් විය.
--------------------------------------------------------------------------
හැකිනම් ශෙයාර් කරල සහයක් දෙන්න.
--------------------------------------------------------------------------
( මතු සම්බන්ධයි.......)
#අවසන්මෙහෙයුම