
24/08/2025
පහළොස් හැවිරිදි අරුම පුදුම ඕස්ට්‍රේලියානු ගුවන් නියමුවෙකුගේ අරුම පුදුම චාරිකාවක් පිළිබඳ පුවතක් පසුගියදා ලොව වටා ජනතාවගේ සවන වැකුණේ නිතැතින් ම ය. ඔහු නමින් "බයිරන් වොලර් "ය. තරුණ වියේදී පටන් විශාල සිහින දැකීමට අත් පොත් තැබූ ඔහු මීට වසරකට පෙර, ඔහු කුඩා කල සිට ම සටන් කළ "ක්‍රෝන්ගේ රෝගය" (Crohn’s disease) පිළිබඳ දැනුවත්භාවය ඇති කරමින් දින 19 ක් තුළ කිලෝමීටර 11,000 කට වඩා වැඩි දුරක් ඔස්ට්‍රේලියාව වටා තනිව පියාසර කළ ලාබාලත ම පුද්ගලයා බවට පත්විය. එම ගුවන් ගමන මේ වන විට ලෝකයේ ම අවධානය දිනාගත් කතාවක ආරම්භය විය. 2025 අගෝස්තු 9 වන දින, බයිරන් ඊටත් වඩා විශාල ත්‍රාසජනක ක්‍රියාවක් දියත් කළේ ය. එනම්, මහද්වීප හත ම ආවරණය වන ලෙස රටවල් 30 කට වඩා වැඩි ප්‍රමාණයක් හරහා සැරිසැරූ ලොව ලාබාලතම ගුවන් නියමුවා බවට පත්වීමේ අරුම පුදුම චාරිකාව යි.
මේ අපූරු "බයිරන්" යෞවනයාගේ ගමන හුදෙක් වාර්තා පිහිටුවීම පමණක් නොව, දැඩි අධිෂ්ඨානය තුළින් භයානක බාධක කෙතරම් විසල් වුව ද ජයගත හැකි බව ඔප්පු කිරීම ය. ඔහුගේ රෝග විනිශ්චය වරෙක ඔහුව රෝද පුටුවලට සහ දිගු රෝහල් ගත කිරීම්වලට සීමා කළ අතර සමහර අවස්ථාවලදී පාසල් ගමන පවා අතරමග නතර කරලීමට ඔහුට සිදු විය. එහෙත්, රෝගයට ඔහුව පාලනය කිරීමට ඉඩ දෙනවා වෙනුවට, බයිරන් රෝගයට අභියෝග කරමින් පියාසර කිරීමේ අරමුණ තම සිතෙහි එල්බ ගත්තේ ය. මෙලෙස ඔහුගේ අවධානය රෝගයෙන් වෙනතකට යොමු කිරීමේ අදහසින් වයස අවුරුදු 13 දී ඔහුගේ පළමු පියාසර පාඩම සඳහා අත්සන් කිරීමෙන් පසුව පුරාවෘත්තයක් බවට පත් විය. දැන්, වසර දෙකකට පසුව, ඔහු කිලෝමීටර් 45,000 ක ගුවන් ගමනක් සඳහා "Sling TSI"ගුවන් යානයක් පදවා ගෙන යන අතර, තම 16 වැනි උපන්දිනයට පෙර ඔහුට ඉන්දියන් සාගරය, මැදපෙරදිගෙහි කාන්තාර, ග්‍රීන්ලන්තයේ අයිස් ග්ලැසියර ආදී තවත් බොහෝ දෑ දැකගැනීමට අවස්ථාව උදා විය.
"බ්‍රිස්බේන්" වලින් පිටත්ව ඇලිස් ස්ප්‍රින්ග්ස්, පෝර්ට් හෙඩ්ලන්ඩ් සහ ක්‍රිස්මස් අයිලන්ඩ් වැනි ස්ථානවල නැවතෙමින් ඉදිරියට ම ගමන් කළ බයිරන්, පසුගිය 17 වැනිදා පස්වරුවේ ඉන්දියන් සාගරය හරහා ශ්‍රී ලංකාවේ කොළඹ දක්වා සේන්දු වූයේ මෙම මෙහෙයුම් තවත් එක් විසල් පියවරක් ලෙස ය. ඒ, පැය 11 කට ආසන්න කාලයක් පුරා එකදිගට යෙදුණු දිගු ගුවන් ගමනකින් පසුවයි. මෙලෙසට විවිධ ප්‍රදේශ වල සිදු කෙරුණු සෑම ගොඩබෑමකින් ම ඒ ඒ මාධ්‍ය සහ ගුවන් සේවා ප්‍රජාවන්ගෙන් ඔහුට හිමි වූයේ නොමද පිළිගැනීමකි. එපමණක් නොව ඔවුන් ඔහුව තරුණ වාර්තා තබන්නෙකු සහ නිදන්ගත රෝග සමඟ සටන් කරන අය වෙනුවෙන් පෙනී සිටින්නෙකු ලෙස ද හඳුන්වා දෙන්නේ මහඟු ගෞරවයකිනි.
කෙසේ වෙතත්, බයිරන් සඳහා මෙම චාරිකාව හුදෙක් පියාසර කිරීමක් ම පමණක් නොවේ. සෑම නැවතුමකදී ම, ඔහු Crohn's වැනි භයානක රෝගයන් සමඟ කටයුතු කරන දරුවන්ගේ සහ යෞවනයන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වඩ වඩාත් ඉස්මතු කරයි, ඔවුන්ගේ සිහින තවමත් ළඟා විය හැකි බව ඔවුන්ට මතක් කර දෙයි. සම්මුඛ සාකච්ඡා සහ සමාජ මාධ්‍යවල යළි යළිත් විකාශය වෙන ඔහුගේ ආදර්ශ පාඨය සරල නමුත් බලවත් ය: "කිසිවකට ඔබ ව වළක්වන්න ඉඩ දෙන්න එපා." මෙම මෙහෙයුම දැනටමත් කිසිදු වෛද්‍ය, පුද්ගලික හෝ සමාජයීය භේදයකින් තොරව ඔවුන්ගේම ජීවන අරගල වල පිළිබිඹුවක් බයිරන් තුළින් දකින අසංඛ්‍යාත තරුණ තරුණියන්ට ආශ්වාදයක් ලබා දී ඇත. එමෙන්ම, බයිරන්ගේ පවුලේ අය, ඔහුගේ පියාසැරි උපදේශක "පෝල් ඩෙනස් "සහ "ක්වීන්ස්ලන්ඩ් "ළමා රෝහල් පදනම වැනි සංවිධාන වල සහයෝගය මෙම මෙහෙයුම තවදුරටත් බලාපොරොත්තු වේ.
ඔහුගේ ගුවන් යානය ලෝකයේ අහස් තල පුරා සුදු සිහින් රේඛා මවද්දී, "බයිරන් වොලර්" අපට මතක් කර දෙන්නේ අභියෝගය ශක්තියක් බවට පත් කරගැනීමෙන් ලැබෙන අසීමාන්තික ඔරොත්තු දීමේ ශක්තිය, අපගේ ම ජීවිතය තුළ අපිව කෙතරම් උසකට ඔසවා තැබිය හැකි ද යන්නයි. කිලෝමීටර් සහ රටවල්වල අවසාන ගණනය කුමක් වුවත්, ඔහුගේ ගමන දැනටමත් ඔප්පු කර ඇත්තේ අප අතර සිටින කුඩාම තැනැත්තාට පවා සිතුවොත් කළ නොහැක්කක් නොමැත යන්නයි.
Written by: Senuki Kavithma
Designed by : Dineth Sandeepa