17/09/2023
ලොවෙන් අඩක් පාලනය කළ වික්ටෝරියා රැජිණියගේ " තරුණ මුස්ලිම් පෙම්වතා"...?
බකින්හැම් මාළිගයේ කුළුණු අතර සැඟවීමට වෙර දැරූ "වික්ටෝරියා - අබ්දුල් " ප්‍රේම වෘතාන්තය ....
මේ ආනන්දජනක කාතාන්දරයේ මම මුලින් සඳහන් කරපු "මුස්ලිම් පෙම්වතා " පිළිබඳව අපි පළමුව කතා කරමු... ඔහු නමින් අබ්දුල් කරීම්. අබ්දුල් 1863 දී ඉන්දියාවේ උපත ලබන්නේ සහෝදර සහෝදරියන් හයදෙනෙකුගෙන් යුතු පවුලක දෙවැන්නා විදියට.1863 නැතිනම් දහනව වැනි ශතවර්ෂය කියන්නේ ඉන්දියානු වැසියන්ටත්, ලාංකිකයන් වුණු අපටත් එතරම් හොඳ කාලයක් නෙවෙයි . සුද්දාගෙ යකඩ සපත්තුවෙන් අකාරුණික විදියට බැටකාපු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ප්රමුඛ කොටගත් සියලුම බ්‍රිතාන්‍ය යටත් විජිත රාජ්‍යයන් හට ඒ කාල වකවානුව සැබවින්ම අඳුරු යුගයක්.
ලාංකිකයන් වුණු අපි 1818 දී සහ 1848 දී සුද්දන්ට විරුද්ධව අභීතව සටන් කළත් 1850 වෙනකොට සියළුම විප්ලවවාදී සිංහල නායකයින්ව බ්‍රිතාන්‍ය පාලනය සූක්ෂම විදියට අඩපණ කරලා තිබුණේ කාටත් නොදැනෙන අන්දමට... ඒ කාලවකවානුවේදී සියළුම බ්‍රිතාන්‍ය යටත් විජිත වාසීන් බ්‍රිතාන්‍යන්ගේ බල පරාක්‍රමය තේරුම් ගෙන ඔවුන් හට දිවිහිමියෙන් සේවය කළේ වෙන කිසිවක් කරන්නට නොවූ නිසාය.
1887 දී මේ කතාවේ ප්‍රධාන චරිතය වන අබ්දුල් ගේ ජීවිතය වෙනස් මඟකට යොමු වන්නේ කවුරුත් නොසිතූ අයුරකටය.ඉන්දියාවේ සිරමැදිරියක සේවය කළ අබ්දුල් සිය සේවාව ඉතා විශිෂ්ඨ ලෙස සිදු කළේ බ්‍රිතාන්‍ය නිළධාරින්ගේ ප්‍රසාදය නොමඳව දිනාගනිමිනි.ඒ හේතුවෙන් එවකට බ්‍රිතාන්‍ය අධිරාජිණිය වූ වික්ටෝරියා රැජිණියගේ ජුබිලි මංගල්‍යයට ,ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා විසින් රැජිණියට තිළිණ කිරීමට නියමිත ඉන්දියානු සේවකයන් දෙදෙනාගෙන් එක් අයෙක් ලෙස අබ්දුල් තේරී පත්වන්නේ සිය පවුලට මහත් ගෞරවයක් ලබාදෙමිනි.
විසි හතර හැවිරිදි අබ්දුල් පුරා මාස දෙකක නැව් ගමනකින් පසුව එංගලන්ත රාජ්‍යය වෙත ගොඩබැස්සේය. එහිදී බකින්හැම් මාළිගය වෙත ඔහුව සහ අනෙක් සේවකයාව අශ්ව කරත්තයකින් ගෙන ගිය අතර ඒ වන විටත් මාළිගය රැජිණියගේ ජුබිලි මංගල්‍යයට සූදානම් කරමින් තිබුණි.1837 දී ඔටුණු පැළඳි වික්ටෝරියා රැජිණිය පුරා වසර පනහක් එම ධූරය දැරීම සැමරීම සඳහා 1887 දී එම උත්සවය සංවිධානය කර තිබුණි.එහිදී වික්ටෝරියා රැජිණිය හට තිළිණ කිරීමට පුරාණ මූගල් කාසියක් ද ඉන්දියාවේ ආණ්ඩුකාරවරයා එවා තිබූ අතර එම කාසිය රැජිණිය හට පිළිගැන්වීමට නියම වූයේ අබ්දුල් හටය.කාසිය පිළිගැන්වීමේදී රැජිණියගේ මුහුණ දෙස නොබලා පාද දෙස පමණක් බලා දිගාවී සිටීමට ඔහුට මාළිගයේ ඉංග්‍රීසි සේවකයින් අණ කළෝය.
ඒ හේතුවෙන් එදින රැජිණියව හරිහැටි දැකබලාගැනීමට නොහැකි වූ අබ්දුල් හට ඊට දින කිහිපයකට පසුව නැවතත් විශේෂ රාජකාරියක් හිමිවිය . ඒ එළිමහනේ උදෑසන ආහාරය ගනිමින් සිටි රැජිණිය හට අතුරුපස පිළිගැන්වීමටය.එහිදීද පෙර පරිදිම පාද දෙස පමණක් බැලීමට අබ්දුල් හට අණ ලැබුණද ඔහු එදින අතුරුපස පිළිගන්වා ඉන්දියානු ක්‍රමයට රැජිණියට බිම දණගසා ආචාර කළේය. ඉන් සිත් පැහැදුණු රැජිණිය අබ්දුල් ව සිය පෞද්ගලික සේවකයා ලෙස එදිනම පත්කළේ සියළුම බ්‍රිතාන්‍ය සේවකයින් මවිත කරමිනි.
හැට හත් හැවිරිදි වියේ පසුවූ වික්ටෝරියා රැජිණිය සිය සැදෑ සමය ඉතා නිශ්ශබ්දව තම පෞද්ගලික කාමරයේ සිට ගතකළ අතර ඇයගේ සමීපයේ සිට සියලු අවශ්‍යතා සොයා බැලීම පෞද්ගලික සේවක තනතුර දැරූ බළධරයා හට පැවරුණි.පෙර අවස්ථාවලදී එම ධූරය දැරූ ඉංග්‍රීසි ජාතික පුද්ගලයින් ඉතා නිශ්ශබ්ද ව රැජිණිය ඇසූ ප්‍රශ්න වලට පමණක් පිළිතුරු දෙමින් ගෞරව බහුමානයෙන් යුක්තව තම සේවය ඉටු කළද අබ්දුල් ඉතා වෙනස් චරිතයක් විය.
ඔහු සැමවිටම රැජිණිය සමඟ කතාවේ යෙදුණු අතර ඔහුගේ එම පුරුද්දට රැජිණ ඉතා ප්‍රිය කළාය. ඔහුගේ ප්‍රියමනාප භාවයට රැජිණියගේ සිත ඇදී ගියාය.ඉතා ඉක්මනින් හිරු නොබසින අධිරාජ්‍යයේ අගරැජිණ, අබ්දුල් ගේ හොඳම මිතුරිය බවට පත්විය.අබ්දුල් වික්ටෝරියා රැජිණිය හට සිය මාතෘභූමිය වුණු ඉන්දියාව පිළිබඳ දිගින් දිගටම කියා දුන්නේය.ඇයගේ පාලනයේ ඒ වනවිට වසර පනහක් පමණ තිබුණු ඉන්දියාව පිළිබඳ වික්ටෝරියා රැජිණිය හරිහැටි දැනගත්තේ අබ්දුල් ගෙනි.
වික්ටෝරියා රැජිණිය සිය මිතුරා වූ අබ්දුල්ගේ වදන් වලින් ඉන්දියාව දැකබලාගත්තාය.ඉන්දියාවේ සිටි අධිරාජ්‍යවරු පිළිබඳ කතාන්දරද ඇය හට අබ්දුල් කියාදුණි.ඒ කතාන්දර වල අධිරාජ්‍යවරුන් හට සිටි පුරෝහිතවරු පිළිබඳ දැනගත් වික්ටෝරියා රැජිණිය අබ්දුල් හට පුරෝහිත නොහොත් මුන්ෂි යන ගරු තනතුර ලබාදුණි.මීට අමතරව ඉන්දියානු ලේකම් ධූරය ඇතුළුව ගරු නම්බුනාම විශාල ප්‍රමාණයක් රැජිණිය විසින් අබ්දුල් හට ලබාදුන්නේ ඉංග්‍රීසි ප්රභූවරු කුපිත කරමිනි.
වික්ටෝරියා රැජිණියගේ වැඩිමහල් පුත්‍රයා වූ එඩ්වඩ් කුමරු රැජිණිය සහ අබ්දුල් අවට චරපුරුෂයින්ද යොදා තිබුණේ කිරුළ අහිමි වේයැයි බියකිනි.ලෝප්‍රකට වින්ඩ්සර් මාළිගයේ ,බල්මොරාල් මාළිගයේ සහ සමහර රාජකීයයන් හට පවා තහනම් වුණු ස්කොට්ලන්තයේ ගිම්හාන නිවසේ වික්ටෝරියා රැජිණිය සමඟ අබ්දුල් සිය ජීවිතය ගතකළේ සියලු ඉංග්‍රීසි ප්‍රභූවරුන් හට විශාල කෝපයක් ගෙනදෙමිනි.රැජිණියගේ පෞද්ගලික අශ්ව කරත්තයේ සුන්දර ස්ථාන නැරඹීමට රැජිණිය ගෙන යාමට අබ්දුල් නිතරම කටයුතු කළේය. අබ්දුල් ගේ ශේෂ වී ඇති දින පොතක දැක්වෙන පරිදි දිනක් වික්ටෝරියා රැජිණිය අබ්දුල් හට පවසා ඇත්තේ සිය පුත් කුමාරවරු ඇයට සැබෑ ලෙස ආදරය නොකරන බව හා ඔවුන් ඇය සමඟ සිටින්නේ තමා හිරු නොබසින අධිරාජ්‍යයේ අගරැජිණ නිසා පමණක් වන බවය.ඇල්බට් කුමරු නොහොත් වික්ටෝරියා රැජිණියගේ ස්වාමිපුරුෂයා මියයාමෙන් පසුව ඇයට ආදරය අහිමි වූ බව ඇය පවසා ඇත.
වික්ටෝරියා රැජිණිය හට අබ්දුල් උර්දු භාෂාවද කියාදී ඇති අතර රැජිණිය සිය දින පොතේ උර්දු භාෂාවෙන්ද ලියූ බව ඉතිහාසය අපට පෙන්වා දෙයි .රැජිණිය අබ්දුල් රෝගී වූ විට රාජකීය වෛද්‍යවරුන් පවා යොදවා ඇත්තේ ඔහුට අසීමිත ලෙස ප්‍රේම කළ නිසාය.අබ්දුල් හට ලිපි ලිවීමේදී " ඔබේ අම්මා", "ඔබේ හොඳම මිතුරිය" ලෙස ලියා අත්සන් කිරීමටද වික්ටෝරියා රැජිණිය යොමු වී සිට ඇත.එසේ ලිපි ලිවීමේදී රැජිණිය ලිපියේම හාදු සටහන් කර ඇති බව ඒ පිළිබඳව පර්යේෂණ සිදුකළ පුද්ගලයින් පවසති.
ඔටුන්න හිමි එඩ්වඩ් කුමරු සහ සියලු රාජකීයයන් තවදුරටත් කුපිත කරමින් රැජිණිය අබ්දුල් ගේ පවුල එංගලන්තය වෙත ගෙන්වා ගෙන ඔවුන් හට මාළිගාව ආසන්නයේ නිවසක් ද ලබාදුන්නාය.රැජිණිය අබ්දුල් ගේ පවුලේ උදවිය සමඟ තේ පානය කිරීමට එම නිවස වෙත ගිය බවද ඇය විසින් දින පොතේ සටහන් කර ඇත.
රැජිණිය 1901 වන විට ඉතා රෝගාතුර වූ අතර ජනවාරි විසිදෙවෙනිදා ඇය අවසන් හුස්ම හෙළුවාය.ඇය අවසන් මොහොතේ පවා රාජකීයයන් දෙස මොහොතකට වත් හැරී බලා නැත.අබ්දුල් ගේ අත අල්ලාගෙන රැජිණිය අවසන් හුස්ම පොද හෙළා අවසන් වූ විගස එඩ්වඩ් කුමරුගේ අණින් අබ්දුල්ව පිටතට ඇදගෙන යනු ලැබීය .අබ්දුල් හොරෙන් නැවතත් පැමිණ රැජිණියගේ දේහයට අවසන් ගෞරව පුදකර ඇත.රැජිණියගේ අවසන් කටයුතු අවසන් වූ වහාම හත්වන එඩ්වඩ් නමින් කිරුළු පැළඳූ අභිනව රජු ,වික්ටෝරියා රැජිණිය අබ්දුල් ගේ පවුල වෙත ලබා දුන් නිවසෙන් ඔවුන්ව එළියට ඇදදැමීමට අණ කළේය.ඉන් නොනැවතී රැජිණිය අබ්දුල් හට ලබාදුන් සියලු ලියුම්,ත්‍යාග පුළුස්සා දැමීය.අබ්දුල් සහ පවුල ඉතා ඉක්මනින් නැවතත් ඉන්දියාවට පිටුවහල් කිරීමට එඩ්වඩ් රජු ක්‍රියා කළේය.
රැජිණිය අබ්දුල් පිළිබඳ දිනපොතේ ලියූ සටහන් මකාදැමීමට බියට්‍රිස් කුමරිය ක්‍රියා කළේ එය බ්‍රිතාන්‍ය රාජකීයයන් හට මහත් වූ අපහාසයක් බැවිනි.එඩ්වඩ් රජු ගේ අණින් අබ්දුල් පිළිබඳ සියළු තොරතුරු විනාශ කොට දැමුවේ එය බ්‍රිතාන්‍ය රජ පවුලට මහත් වූ කළු පැල්ලමක් බව පවසමිනි.එඩ්වඩ් රජුගේ කාර්යය ඉතා සාර්ථක වූයේ එය මුළුමනින්ම සැඟවීමට ඔහුට හැකි වූ නිසාවෙනි .නමුදු වසර සියයක් එය රහසක්ම වූවත් 2003 දී නැවතත් අබ්දුල් කරළියට පැමිණියේය.
ඒ ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක් වූ ශර්බානි බාසු නිසාය.ඇය මා කලින් සඳහන් කළ ස්කොට්ලන්තයේ ගිම්හාන නිවසේ 2003 දී සංචාරයක නිරත වූ අතර එහි වූ පැරණි ඡායාරූප වල රැජිණිය අසළ සිටින මුස්ලිම් ජාතිකයා කවුදැයි ඇයට ගැටළුවක් විය.ඔහු ඇඳ සිටි ඇඳුම්වලට අනුව ඔහු සේවකයෙක් නොවන බව ඇයට තේරුම් ගියාය.පසුව විශේෂ අවසරයක් සහිතව මුද්‍රා කර තිබූ රැජිණියගේ වෙනත් දිනපොතක් පරිශීලනය කිරීමෙන් වැළලී ගිය මේ කතාන්දරය නැවත සුළු වශයෙන් හෙළි විය.වැදගත් කරුණු රාජකීයයන් විසින් ඉතා සූක්ෂම ලෙස විනාශ කර ඇති බව බාසු මාධ්‍යවේදිනිය පවසා ඇත.
ඇය වෙත ඉන්දියාවේ සිටි අබ්දුල් ගේ පරම්පරාවේ පුද්ගලයෙක් පරම්පරා ගණනක් තිස්සේ දිවිහිමියෙන් රැකගත් "අබ්දුල් ගේ දිනපොත" ලබාදුන් අතර එය අබ්දුල්ගේම දිනපොත බව රසපරික්ෂක වාර්තා වලින් ඔප්පු විය.එලෙස වික්ටෝරියා- අබ්දුල් ප්‍රේම වෘතාන්තය වසර සියයකට පසුව නැවතත් කරළියට පැමිණියේ සැබෑ බැඳීම් කවදාවත් සැඟවිය නොහැකි බව පෙන්වා දෙමිනි...එය ඇත්තෙන්ම ප්‍රේම සබඳතාවක් නොවන බව ඔබට හැඟී යනු ඇත.නමුත් රැජිණිය ලියූ ලියුම් ආදියෙන් ඔවුන් අතර ප්‍රේම සබඳතාවක් තිබී ඇති බවක් හෙළි වී ඇත.
සැබෑ ප්‍රේමයට වයස,ජාතිය,ආගම ,කුලය,වර්ණය සහ සමාජ ස්ථරය අදාළ නොවන්නේය...ප්‍රේමය ප්‍රේමයමය...ප්‍රේමය යැයි අද බහුතරයක් කියන්නේ කාමයටය... රාගයෙන් තොර බැඳීම් නොදන්නා අයට මේ "විරාගී ආදර කතාව" කියාදෙන්න...
1909 දී සීතල උදෑසනක ටජ්මහල ඉදිරියේ වූ වික්ටෝරියා රැජිණියගේ ප්‍රතිමාවේ පාද අසළ හතලිස් හය හැවිරිදි අබ්දුල් අවසන් සුසුම් හෙළුවේය.
හුදී ජන පහන් සංවේගය පිණිසය ....
- ජෙහාන් ගෝමස් -
උපුටා ගැනීමකි ❤️🙏