18/09/2024
මාළිගාවට ගැහුවාය කියල අපැහැදිලි අතීතයක් අල්ලගෙන වැලලෙන්න හදන අයට උත්තරය
ඉස්සර ජවිපෙ කතා අහන්න රැලි වලට ආපු අය අද ඇවිත් ඉන්නේ මාලිමාවට ඡන්දය දෙන්න
*-මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි*
ජාතික ජන බලවේගයේ නායකයන්ගේ කතා අහන්නට මැතිවරණ රැලිවලට පැමිණෙන වැඩි පිරිසක් පසුගිය මැතිවරණවලදී ඔවුන්ට ඡන්දය නොදුන් නමුත්, මෙවර එම තත්වයේ වෙනසක් පෙනෙන්නට ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පවසති.
අතීතය සැලකීමේදී කොයි කා අතිනුත් වැරැදි හා අඩුපාඩු සිදුව තිඛෙන බවත් ජාතික ජන බලවේගය එම අඩුපාඩු නිවැරැදි කර ගනිමින් මේ දක්වා පැමිණීම අගය කළ යුතු බවත් උන්වහන්සේ කීහ. ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇතුළු කණ්ඩායමක් ඊයේ (17දා) මල්වතු මහා විහාරයට ගොස් එම පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසූහ.
ජාතික ජන බලවේගය මගින් මෙවර ජනාපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපතක් මල්වතු මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පිළිගැන්වූ ලාල් කාන්ත මහතා ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තිය ප්‍රකාරව බෞද්ධාගමට ලබාදී තිඛෙන ප්‍රමුඛස්ථානය අහෝසි කරන්නට ජාතික ජන බලවේගය කටයුතු කරන බවට ඇතැම් ජනපති අපේක්ෂකයන් හා ඔවුන්ට සහාය දක්වන සංවිධාන ගෙන යන ප්‍රචාරයන්ගේ කිසිදු සත්‍යතාවක් නැතැයි පැවැසුවේය.
බුදු දහම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වගන්ති වෙනස් කිරීම සම්බන්ධව සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති පසුබිමක පරාජය අබිමුව සිටින අපේක්ෂකයන් හා ඔවුන්ගේ හිතවාදී කණ්ඩායම් ජනතාව නොමඟ යැවීමට, පෙර මැතිවරණවලදී මෙන්ම මෙවරත් නොයෙකුත් අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත් ජනතාව මෙවර ඒවාට නොරැවටෙන බවත් කී ඒ මහතා මේ අයට බලය ලබාදීම තබා ඡන්දය දීමද නුසුදුසු යැයි අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ විධායක සභික චන්ද්‍රසිරි විජේනායක, මහාචාර්ය තිලක් සුබසිංහ ඇතුළු පිරිසක් ද සහභාගි වූහ. එම නියෝජිත පිරිස අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.