08/08/2026
දක්ෂිණාංශික නීතිඥ ඇබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියෙල්ලා (Abelardo de la Espriella) කොලොම්බියාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
ඒ, දෙවන වටයේ ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි.
සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව දැඩි පියවර ගැනීම, රජයේ වියදම් සියයට 40කින් පමණ කප්පාදු කිරීම සහ රටේ තෙල් හා ගෑස් කර්මාන්තය යළි නඟා සිටුවීමට ඔහු පොරාන්දු ලබාදුන්නා.
48 හැවිරිදි ඩි ලා එස්ප්‍රියෙල්ලා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය සාම්ප්‍රදායිකව අගනුවර වන බොගෝටා නුවරදී නොපවත්වා, රටේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි කාලි නගරයේදී පැවත්වා තිබෙනවා.
සන්නද්ධ කණ්ඩායම් සමග සාකච්ඡා මාර්ගයෙන් සාමය ඇති කිරීමට උත්සාහ කළ හිටපු වාමාංශික ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ ප්‍රතිපත්තිය ඩි ලා එස්ප්‍රියෙල්ලා දැඩි ලෙස විවේචනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.
දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දක්වමින් නව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, රටේ ස්ථාවරත්වයට හානි කරන කිසිදු ක්‍රියාමාර්ගයකට ඉඩ නොදෙන බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ ත්‍රස්ත ක්‍රියාකාරකම් “නොනවත්වා පරාජය කරන” බවද ඔහු අවධාරණය කර ඇති බව සඳහන්.
එමෙන්ම සන්නද්ධ කණ්ඩායම් සමග තවදුරටත් සාකච්ඡා කිරීමේ අවස්ථාව අවසන් වී ඇති බවත්, රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, ඔහු සඳහන් කර තිබෙනවා.