22/04/2025
2 කොටස (රැජිනකගේ සංසාර ප්‍රේමය.)
සූර්යයා ඉරුගල් බණ්ඩාරගේ සටහන්.
"අල්මාරියේ සරං තියෙනවා මහත්තයා.. පල්ලෙහා ළිඳ තියෙනවා නා ගන්න පුළුවන්.
හැබැයි අපිට නාන කාමර නං නෑ..'
අමුත්තා අප්සරා නැන්දා වෙත යළිත් ස්තුති පූර්වක බැල්මක් හෙළා කාමරය ඇතුළට ගියේය.විවෘත කොරිඩෝවේ ඇති කාමරය පිරිමියෙකුට නම් සුදුසුය. එහි ඇඳක් ,මේසයක්, පුටුවක් වෙයි.පැරණි අල්මාරියක් ද තිබේ.
" මෙහෙම හොඳයිි නැන්දේ.. හිතත් එක්ක නිවෙනවා මේ වගේ පරිසරයකදී "
අමුත්තා කී කතාවෙන් මා තීරණය කළේ ඔහු හිතේ කරදරයෙන් සිටිනා බවය. බොහෝ අයට හඳහන කියවා ගන්නට වුවමනා වෙන්නේ අපල කාලයක් උදාවන බව සිහියට එද්දීය. වැස්ස දැන් තුරන් වී ඇත.
හඳහන් බලන්නට ආ කිහිප දෙනාද නික්මී ගොස් ඇත. අප්සරා නැන්දා රාත්‍රියට කන්නට ඉඳි ආප්ප තම්බා තිබ්බටු මැල්ලුමක්ද සාදා රම්පේ සුවඳ හමන පරිප්පු හොද්දක්ද සූදානම් කළාය.
"සූරියා...කෑම ටික බෙදලා දෙන්ඩ දුවේ...මං යන්න එපැයි "
ඇය ලහි ලහියේ කීවාය.
"මම හෙට උදෙන් ඇවිත් කිරිබත් ටිකක් හදන්නම්. කිරි අත්තට කොළ කැඳ හදන්ඩ ගොටුකොල ටිකත් හෝදලා ලෑස්ති කරලා..තියෙන්නෙ. වංගෙඩියේ කොටන එක තමා තියෙන්නේ"
". ඒක අමාරු දෙයක් නෙමෙයි නැද්දේ.
ඉඳිආප්ප ටිකක් අරගෙනන යන්න."
අප්සරා නැන්දා පිටව ගියපසු ගෙදර මොකක්දෝ පාළුවක් පැතිර ගියේය. කිරිඅත්තා සෑහෙන වෙලාවක් බුදුන් වැඳ ගාථා කිව්වේය.කිරිඅත්තා රෑට කෑමක් නොගන්නා
බැවින් රාත්‍රියට ඔහුට දෙන්නේ කොත්තමල්ලි වතුර ටිකක් පමණි.
බොහෝ කාලයක් නිරෝගීව සිටිනා ක්‍රමය එයයි. ඔහු දැන් අවුරුදු අනූවකට කිට්ටුවෙන් සිටීයි.
අප්පච්චි අමුත්තා සමඟ රාත්‍රී ආහාරය. ගනිමින් සිටියේය.
"අපේ ගෙවල්වල වැඩිය තියා කොහොමටත් මස් මාළුයි ඉදෙන්නේ නෑ. මහත්තයාට කෑම අපුලද මන්දා.."
අප්පච්චි සූරියකාන්ත ඇස් දෙකක් ඇති ඉන්දීය නළුවෙකුගේ පෙනුමක් ඇති ඒ කඩවසම් හාදයාට කියමින් සිටියේය.
"මගේ එහෙම විශේෂයක් නෑ මාමේ."
අමුත්තා දැන් නෑකම් කියා අමතයි. එහෙත් මට ඔහු කොහෙදී හෝ දැකපුරුදු බවක් මතක් වෙයි.ඒ ආකර්ෂණීය කටහඬ මගේ හදවතේ කොහේ හෝ තැන්පත් වී ඇතැයි මට සිතේ.
"මගේ වයිෆ් අසනීපෙන්.පුළුවන් තරම් ට්රීට්මන්ට් කරා... හරියන්නේම නෑ . ඒකයි හඳහන ටිකක් බලවගන්න ආවේ."
අමුත්තාගේ කතා විලාසය මට මේ තරම් හුරු ඇයිදැයි නොතේරෙයි. යළිත් කුස්සිය ට ගිය මම වතුර ජෝගුවක් පුරවාගෙන අවුත් මේසය මත තැබුවෙමි.ගස්ලබුගෙඩියක් කපා ගෙන ඇවිත් මේසය මත තැබූවෙමි. වරින් වර මේසය ළඟට අවුත් ඔවුන්ගේ කතාවට සවන් දෙන්නට මට මොකක්දෝ උවමනාවක් තිබුණි.
තිබ්බටු මැල්ලුම නම් අහවර වී තිබේ. අමුත්තා ඉඳි ආප්පවලට වඩා බෙදාගෙන තිබුණේ තිබ්බටු මැල්ලුමය.
'නෝනට ගොඩාක් ආදරේ පාටයි.හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙන්න ඇති.."
මගේ හිත ඒ විදිහට කෙඳිරුවා නොවේද ? ආදරයකින් තවමත් හිත පිරී නොගියත් මා පසු වන්නේ ආදරයකින් අන්ධ විය යුතු වයසේය. පපුව පුරවාගෙන ආදරය කළ යුතු වයසේය. ජීවිතය කියන්නේ ආදරයට යැයි හිතෙන වයසේය.පෙම්වතෙකුගේ උණුසුම් පපුවට තුරුලු විය යුතු වයසේය.
"අපේ අබුච්චා ඕක බලලා හරියටම කියයි මහත්තයෝ... මුන්දැට පෙර ආත්ම හිටන් පේනවා. ඔය අපේ දෝනි උපන්න වෙලාවේ වෙලාව බලලා නළල රැළි කරගත්තා. මොකෝවත්ම කීවේ නෑ."
"දෝනි කීවේ මේ අර හිටිය සුදු නංගිද?"
"මට ඉන්නේ කෙල්ලටයි කොල්ලටයි දෙන්නට ඔච්චරයි."
අප්පච්චි හැමදාම කියන්නේ ඔය ටිකය.,,අම්මා මිය ගියේ අම්මාගේ ගමේදී සර්පයෙකු දෂ්ට කිරීමෙනි.කිරි අත්තා ඒ බවත් දැනගෙන උන්නේය.
"දෝනිගෙ අම්මගෙ හඳහන බලලා මට ඒ මඟුල කරගන්ඩ එපාම කියලා කිව්වා. ඒත් සංසාර බැඳීම් වලක්වන්ඩ පුළුවන්ද මහත්තයෝ .."
අප්පච්චිට කාලෙකින් දුක කියන්නට කෙනෙක් අහුවී ඇත. හැම කෙනෙකුම කැමති තමන්ට තවත් කෙනෙක් සවන් දෙනවාටය.කාලෙකින් වැටෙන වැස්ස නිසා ගෙම්බන්ගේ බක බක නාදය තරගයකට මෙනි. ඉඳහිට ඇහෙන බස්සාගේ නාදයද ඊට සමගාමීව ඇසේ. වහලය උඩටම ඇවිත් තිබෙන අඹ අත්ත කිරි අත්තා කපන්නට නොදෙන්නේ ඒ බස්සාගේ වාසස්ථානය බැවිනි.කිරි අත්තාගේ පිරිත් හඬ ක්‍රමයෙන් නෑසී ගොසිනි..
"දෝණි ඉපදුනාට මොකද අපොච්චා හඳහන හැදුවේ නෑ. හැබැයි නම දාන්න කියලා කිව්වේ සූර්යයා කියලා. ඒකට මගේ නෝනා කැමති වුණේ නෑ ...."
අප්පච්චි කියන කතාව මා කිසි දෙනක අසා නැතත් මා මගේ නමට කැමතිය.
"නෝනට ඊට වඩා හොඳ නං තිබ්බා. ගෑණු ලාලිත්‍ය මතුවෙලා එන ඔය කල්පනා, සඳ මාලි, චතුරිකා...වාගෙ නම්..ඒ ගමන අබුච්චා කීවා කෙල්ල මරා ගන්ඩ ඕන නම් ඕන නමක් දාපියව්. මං කියන්නේ සූර්යයා කියන නම විතරයි කියලා. ඉතින් ඒ නම දැම්මා."
"ළඟට ගියත් පිච්චෙන නමක්.."
අමුත්තා හිනා වෙන හඬ මට ඇසුණි.
බොහෝ වෙලාවක් යනතුරු මට නින්ද ගියේ නැත. කිරි අත්තා මට සූර්යයා කියා නම තබන්නට අණ දීමක් කර තිබුණත් මගේ හඳහන සාදා තබා නැත්තේ කුමක් හෝ හේතුවක් නිසා වන්නට ඇත .
පහළ කැලේ නරි හූකියන හඬ ඇසෙයි. බොහෝ දුර සිට සිය බිරිඳගේ හඳහන බලාගන්නට ආ අමුත්තාගේ රුව මගේ දෑස් ඉදිරිපිට මැවී පෙනී පෙනීම මම ඇස් පියන්ට උත්සාහ කරමින් සිටියෙමි. හවස ඇද හැලුණු වරුසාව මැදියමේ වඩා උත්සන්නව තිබුණි. සීතල සිංහල උළුකැට අතරින් ගලායන සීතල වතුර බිඳු ඉඳහිට ඇඟට වැටෙයි. මැටි ගඩොලට ඉක්මනින් සීතල අල්ලන නිසා සර්පයින්ට ගෙට එන්නට තියෙන ඉඩකඩ වැඩිය. මගේ ඇස් දෙකට කොහෙදෝ ඉඳන් නිදිමත කාන්දුවෙමින් තිබුණි, බස්සාගේ හඬත් වරින් වරෙන් ඇසෙන්නට විය.
උදෑසනම ජනේලේ ළඟට අවුත් කෑ ගසන මොණරාගේ හඬින් මම කාමරයේ ජනෙල් පියන් අරිමි. ජනේලය අරින විටත් මට ඇසෙනුයේ නිවස පුරා ගලායන කිරි අත්තාගේ පිරිත් හඬය.
"ඕම් උදේ ..උදේ..රාජන් ශ්‍රී මංගල ඒවා..හ්."
කිරිඅත්තා හිරු උදාවත් සමඟ සූර්ය වන්දනාවේ යෙදෙයි.මම ලහි ලහියේ කුස්සියට දුවනුයේ ඔහුගේ කොළ කැඳ කෝප්පයේ සාදෙ දෙන්නටය ඉන්පසු උදෑසන ආහාරයට පහසු දෙයක් පිළියෙල වෙයි වෙයි. නැතහොත් නිවසේ හදාගන්නා මොනවා හෝ රැගෙන අප්සරා නැන්දා ගෙට ගොඩ වෙයි. ඒ කල්පනාවත් සමගම මම ඇස් පියා පියා ගන්නට ඇත.
ඒ ගණඳුරු රාත්‍රියේදී මට යමක් පැහැදිලිව පෙනුනා සේය.මා ළඟ තැඹිලි පැහැති සිවුරක් හෝ සළුවක් දාගත් වයෝවෘද්ධ පුද්ගලයෙකු පෙනී සිටියේය .ඔහු සිටිනුයේ මගේ ඇඳ අසලින්ද මට උඩින්ද අහසේද කියා මට නිනව්වක් නොවීය. කොණ්ඩයත් රැවුලත් දෙකම පුළුන් ගොඩක් වැනිය. කෘෂ සිරුරකින් යුතුවූ ඒ පුද්ගලයාගේ බෙල්ලේ කුමක් හෝ පළඳනාවක් තිබුණි.මගේ මතකයේ හැටියට ඔහු ඉන්දියාවෙන් පැමිණි ගනින්නාසේ කෙනෙක් විය යුතු යැයි මට සිතුණි.
"සූර්යයා ...".
උඹේ කාලෙ හරි දුවේ.."
ඔහු එපමණක් කියා මගේ ඇස් ඉදිරියේ අතුරුදහන් වී ගියේය.ඒ පුද්ගලයා කොහේ ගියාදැයි බලන්නට මා යහනාන් නැගිටිනවා මට මතකය.මා නොදැනුවත්වම කොහේටදෝ පාවී පාවී යනවා බඳු හැඟීමක් මට ඇති විය. රාත්‍රියේදී දොරට දමාගන්නා අගුල මා අරිනුයේ මොණරාගේ ශබ්දයෙන් පසුවය. එහෙත් මේ මැදියමේ දොරේ අගුල කැරකෙව්වේ කුමකටදැයි මට මතක නැත. ඉපැරණි තට්ටු දෙකේ නිවසක් වූ අපේ නිවසෙහි ලී තරප්පු පෙළ නොව මා බසිමින් සිටියේ ගල් පඩිපෙළකි. රජු තවම සුවපත් නින්දකය. මට ඔහු අසලට යාමට අවසරයක් තිබේද ? රජුගේ සිරි යහන් ගැබමුරට සිටිනා
රාජපුරුෂයන් හතර වටේය.එහෙත් පුදුමයක මහත හෝ එය මගේ වාසනාවද අවාසනාවද කියා මට සිහියට නගා ගත නොහැක. මම රජුගේ සිරිහන් ගැබ ඉදිරිපිට හිටියෙමි.
"රජතුමනි... රජතුමනි.. මොහොතකට කමා කළ මැනවි."
"රජතුමනි, ඔබවහන්සේ යැයි බලා සිටිනුයේ මන්ද.. ඔවුන් මා මරා දමන්නට කුමන්ත්‍රණය කරනවා රජතුමනි"
කිසිදු කලබලයකින් තොරව නිදහසේ නිදන රජතුමා මා දෙස හැරී නොබලයි .මා දෙස හැරී වත් නොබලන්නට තරම් ඔහු මා මේ රාජ්‍යයේ සිරකාරියක කලේ ඇයි?
"රජතුමනි රජතුමනි,"
මම ඔහුගේ දෙපා බදාගෙන කෑ කෑ ගැසුවෙමි.
"සූර්යයා ...සූර්යයා ..".ඇයි මේ ළමයෝ.... ඇයි මේ. "
මම පියවි සිහිය ලබමින් සිටියෙමි. දෙවියනේ මා මේ සිටින්නේ කොහේද? මා මේ සිටිනුයේ අහවල්. රජතුමෙකුගේ සිරියහන් ගබඩාවක නොවේ..මා මේ සිටිනුයේ ඊයේ අප නිවසට ආ අමුත්තා ගේ කාමරයෙහිය...මා බදාගෙන සිටිනුයේ ඔහුගේ කකුල් දෙකයි. .වෙලාව පාන්දර තුනට පමණ වන්නට ඇත. බ්‍රහ්ම මොහොතෙන් අවදිවන කිරි ඇත්තා මෙි වන විටත් අවදි වී සිටින්නට පුළුවන. .