18/08/2026
18 වන වතාවට සිරිපාදේ ගිහින් කැලෑ මල් කඩපු තරුණියට උසාවියෙන් උපරිම දඩ අද නියම වුණි.
ගාල්ල, කිරිහේන, අක්මීමණ පදිංචි තරුණියක් විසින් ඉකුත් සිරිපා වාරය අවසන් වන කණිසමේ සිරිපා කරුණා කල අතර ඇය විසින් මෙම සමූහයේ ඡායාරූප බොහොමයක් පල කරන ලදී. ඒ අතර ඇය විසින් සිරිපා රක්ෂිතය තුල වූ erigeron මල් කඩා ඒවා අත දරමින්ද ඡායාරුප ගෙන තිබූ අතර, නිරන්තරයෙන් මෙහි පලවන එවැනි නීතිවිරෝධී දේ සම්බන්ද අවධානයෙන් සිටින අප විසින් ඒකී ඡායාරුප බාගත කරගෙන කමෙන්ට් මඟින් ඇය වැරද්දක් සිදු කර ඇති බව දන්වා සිටියෙමු.
ඒ වගේම ඇය විසින් එම කැඩූ මල් අතැති ඡායාරුපය සහ පොස්ටුව ඇයගේ නමින් සහ අන්වර්ථ නාම වලින් ඇති ගිණුම් හරහා බොහෝ Travel Groups වල පල කර තිබුණි. ඉන් මිලියන සංඛ්‍යාත සාමාජික සාමාජිකාවන් සිටින සමූහ වෙත ඇය විසින් ලබාදුන්නේ ඉතා වැරදි ආදර්ශයකි. හුදෙක් තමන්ගේ සමාජ මාධ්‍ය වල Reach එක වැඩි කරගනු පිණිස නීති විරෝධී ක්‍රියාවක් මෙසේ පොදුවේ ප්‍රදර්ශනය කිරීම තුලින් මෙම වැරදි ආදර්ශ අනුගමනය කරන්නට තවත් පිරිස යොමු වීම නැවැත්විය යුතුය. අප විසින් ඇයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිණිස අදාළ ඡායාරුප, පොස්ටුව, කමෙන්ට්ස් සියල්ල වනජීවී දෙපාර්තමේන්තුව වෙත ඇයගේ නම සහ ලිපිනය ආදී සියලුම තොරතුරු සමඟ සමූහයේ නිල ලිපියක් මගින් පැමිණිල්ලක් ලෙස යොමු කරන ලදී. ඊට ක්‍රියාත්මක වූ වනජීවී දෙපාර්තමේන්තුව විසින් ඒ ගැන සොයාබලා ඇයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලදී. මෙහිදී අපගේ පැමිණිල්ල වෙනුවෙන් මෙම නඩුවේ විමර්ශන කටයුතු කල බත්තරමුල්ල වනජීවී දෙපාර්තමේන්තුවේ නීති අංශයේ එල්.ටී.ධම්මික මහතා සමග බුද්ධික මහතා සහ රත්නපුර පලාබද්දල අඩවි ආරක්‍ෂක කාර්යාලයේ නිලධාරීන් ද, අප සමූහයේ ලේකම් නීතිඥ දස්නි සොයුරිය ද ගරු අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලදී. වනජීවී දෙපාර්තමේන්තුව විසින් ඇයට විරුද්ධව ගොනු කරන ලද චෝදනා පත්‍රය පහත පරිදිය.
වර්ෂ 2026 ක් වූ මැයි මස 16 වැනි දින හෝ ඊට ආසන්න දිනක මෙම අධිකරණ බල සීමාව ඇතුලත දී, ඔබ විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, වර්ෂ 1940 ඔක්තෝම්බර් මස 25 වන දින අංක 8675 දරණ අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී පාද අභය භුමිය තුල (erigeron) පැලෑටියේ මල් කඩා එම පැලෑටි වලට යම් ආකාරයකින් හානි සිදු කිරීමෙන්, වර්ෂ 1964 ක් වු අංක 44,1970 අංක 01, 1993 අංක 49 හා 2009 අංක 22 දරණ අණපනත් වලින් සංශෝධිත (469 වන අධිකාරියේ ) වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 7 (1) (ඇ) (i) වගන්තියට පටහැනිව කටයුතු කිරීමෙන් එකී ආඥා පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට මෙයින් චෝදනා නගනු ලැබේ.
එහිදී එම චෝදනාව පිළිගත් ඇයට වර්ෂ 2026 ක් වූ අගෝස්තු මස 18 වන දින රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී ගරු අතිරේක මහේස්ත්‍රාත්තුමිය විසින් රු. 20,000 ක දඩයක් නියම කරන ලදී. මෙහිදී හොඳින් මතක තබාගත යුතු කරුණ වනුයේ ඇයට මේ දඩය ලැබුනේ පුංචිම පුංචි මල් දෙකක් කැඩූ නිසා බවයි. මන්ද වරදේ ස්වභාවය ලොකු වුනත් ඉතා පුංචි දෙයක් වුනත් වැරැද්ද වැරැද්දම තමයි.
ඇය වෙනුවෙන් ගරු අධිකරණයට කරුණු දැක්වුයේ "ස්වාමිනි මේ කැලෑ මල් දෙකක් කඩලා තියෙන්නේ, මේකෙන් කිසි හානියක් නැහැ, මේවා පාරේ ඕනෑතරම් තියෙනවා, එක මේ නඩු දාන්න තරම් දෙයක් නෙවෙයි, එත් අපි වරද පිලිගන්නවා" ලෙසිනි. නමුත් මෙතන තියෙන්නේ පුංචිම පුංචි මල් දෙකක් කඩපු එකට වඩා 18 වතාවක් කරුණා කරපු ඇය කලින් 17 වතාවෙම මේ වැරැද්ද කරලා තියෙන්න පුළුවන් වීමයි. මන්ද මෙවැනි තරුණියන් බොහොමයක් මේ වැරැද්ද කරනවා. එය හුදෙක්ම සමාජ මාධ්‍ය වල ෆොටෝ එකක් දාන්න නැත්නම් වීඩියෝ එකක් දාන්න. මෙතන ඔවුන්ට තේරුම් ගැනීමට නොහැක්කේ මේ ඔවුන් කඩා දමන්නේ වන රක්ෂිතයක තියෙන මල් සහ පැලෑටි කියන එක. මොකද පාර දෙපස ලස්සනට පිපිලා තියෙන්නේ ඒක දේශීය දුර්ලභ මල් වර්ග වෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ සම්මත නීතියට අනුව රක්ෂිතයක කිසිඳු මලක්, ගහක්, කොලයක් පැලෑටියක් කඩන්න ගලවන්න තහනම්. ඒ බව සිරිපා කරුණා කරන මාර්ග 6 ම බෝඩ් ගහලා තියෙන්නේ. ඒ වගේම ප්‍රධාන මාර්ග තුනේම මාර්ගය පුරාවටම ස්ථාන බොහොමයක මේ බව දන්වමින් පුවරු ගහලා තියෙනවා. ඉතින් ඒ දැන දැනත් මෙවැනි වැරදි සිදු කිරීම ලැජ්ජාසහගත අශිෂ්ට ක්‍රියාවක්.
තරුණ තරුණියන් හුදෙක්ම Social Media Posts පිණිස මේ වගේ වටිනා දුර්ලභ ශාක, මල් වර්ග කඩලා ෆොටෝ අරන් ඔහේ විසි කරලා එනවා. මේවා වැරදි, වැරද්දක් විදිහට අර්ථ දක්වලා නීති රෙගුලාසි පනවා ඇති දේවල්. ඒ නිසා පුංචිම පුංචි මලක් වුනත්, දෝතළු මලක් වුනත්, මහා රූස්ස ගහක් වුනත් වැරැද්ද නම් වැරැද්දම තමයි. ඒ වගේම මේ තරුණිය වගේම සිටින අය තවත් තර්ක කරන දෙයක් නම් රටේ මෙච්චර අච්චර වැරදි වෙනවා එත් මේ මල් දෙකකට උසාවි දානවා කියන එක. හැබැයි එහෙම කියන ජනතාව තමයි රටක යහපත් පැවැත්මට නුසුදුසුම පිරිස. මන්ද තමන් කරන හෝ කරපු වැරැද්ද ඉතාමත් පුංචිද ලොකුද කියලා තර්ක කරලා වැඩක් නැහැ. වැරැද්ද වැරැද්දක් නම් ඒක වැරදියි.
ඒ නිසා සිරිපාදේ යද්දී පාර දෙපැත්තේ තියෙන මල්, අතු, රිකිලි, ගස්, පැලෑටි, කොල කඩන්න යන්න එපා. ඒවා ලඟට ගිහින් ඒවා කඩන්නේ නැතුව ඇත බැරිනම් කකුල තියලා හරි ඔයාලා ඡායාරුප ඔනතරම්ම් ගන්න. හැබැයි කිසිම දෙයක් කඩන්න එපා. ඒ වගේම බිම තිබිලා අහුලලා අතේ තියන් ෆොටෝ එකක් ගත්තේ කියලා කියන්නත් එපා. ඒවා නිදහසට කරුණු නෙවෙයි. අනික හැමදාම ඒ බොරුව හරියන්නෙත් නැහැ. ඒ නිසා කිසිම දෙයක් කඩන්න එපා, ඉවත් කරන්න, විනාශ කරන්න එපා. මේ සමූහයේ අපි ඔයාලා දාන ෆොටෝ ගැන හොඳ අවධානෙන් ඉන්නේ. පහුගිය වසර කිහිපය පුරාවටම මේ වගේ වැරදි කරපු ගොඩක් අයට විරුද්ධව අපි නඩු දාල දඩ ලබාදෙන්න කටයුතු කරා.
සිරිපා වන්දනාව වාරේ උනත් අවාරේ උනත් ඒක වන්දනාවක් විතරයි. ඔයාලට පාරේ තියෙන කිසිම ස්වභාවික දේකට හානියක් කරන්න බැහැ. ඒ නිසා ඒ බව හොඳින් මතක තබාගෙන යන්න. ආයේ රත්නපුර උසාවි එන්න කැමති අය ඉන්නවනම් අපිට දන්වන්න, ෆොටෝ එවන්න; අපි එයාලාට හරි දේ කියලා දෙන්න බලාගෙන ඉන්නවා.
සමනල කන්ද රසික එකමුතුව
- සමනල කන්ද රසික එකමුතුව සමූහයේ පල කර තිබූ සටහනක් උපුටා ගැනීමකි.