26/07/2025
‘‘ඔෆිස් එකට අලුතින් ආපු ගෑනු ළමයා දැක්කද? ලස්සනයි නේ?’’
‘‘ලස්සන තමයි... නියපොතු ටික දැක්කනම් බත් කන්න හිතෙන එකකුත් නෑ...’’
ඔය ඊයේ පෙරේදා මට ඇහුණු දෙබසක්. කෙනෙක්ව වර්ණනා කරන්න අකමැති මිනිහා ඉතින් නියපොත්තේ හරි ඇදයක් හොයනවලුනේ. ඒක හරි. හැබැයි මුහුණේ පැහැපත් බව, ලස්සන ගැන හිතන ගොඩක් උදවිය නියපොත්තට දක්වන්නේ කුඩම්මගේ සැළකිලි කියන එකනම් නොකියම බෑ.
කෙනෙක්ගේ පිරිසිදුකම මැනගන්න ඕන නම් කෙළින්ම කකුලේ නියපොතු ටික දිහා බලන්න කියලා කතාවටත් කියනවනේ. වෙන එකක් තියා තැනකට ගියහම අනිත් අය මගේ නියපොතු ටික දකීවිදෝ කියලා ඔයාටම බයක්, අපහසුතාවයක් දැනෙනවා නම් ඇත්තටම එතැන ප්‍රශ්නයක් තියෙනවා.
සමහරු මොකක්හරි අකමැති දෙයක් ගැන කියනකොට ‘ඒක මගේ නියපොත්තක් තරම්වත් වටින්නේ නෑ’ කියලා කියන වෙලාවලුත් තියෙනවා. හැබැයි එහෙම කියන අය ඇත්තටම නියපොත්තේ වටිනාකම නොදන්නවා වෙන්නත් පුළුවන්. ඒ නිසා නියපොත්තට වටිනාකමක් නොදෙන අයගේ දැනුවත්වීමටයි මේ ටික කියන්න හිතුවේ.
නියපොතු වටා රුධිර වාහිනී රාශියක් ඒකරාශී වෙලා තියෙනවා. ඒ නිසා යමක් තදින් අල්ලගන්න නියපොතු අපිට උපකාරී වෙනවා. ඇඟිලි කාර්යක්ෂමව භාවිතා කරන්නත් නියපොතුවල උදව්ව වැදගත්. ඒ විතරක්ද? වෛරස, විෂබීජ ඇඟිලි හරහා ශරීරගත වෙන එක වළක්වගන්නත් නියපොතු නැතිව බැහැ. දෑතින් නිතරම වැඩපළ කෙරෙන නිසා නියෙපාතු අහුමුළුවල කුණු, දුහුවිලි, තෙල් වගේ නොයෙක් දේ රැඳෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒවා හරි විදියට පිරිසිදු නොකළොත් කාලයක් යද්දි නියපොතු දුර්වර්ණ වෙන්න වගේම නිය ආශ්රිත ආසාදන ඇතිවෙන්න වුණත් පුළුවන්. ඉතින් එහෙම වුණොත් අනිත් අය අතරේ පිළිකුල් වෙන්න පවා ඉඩ තියෙනවා. ඊජිප්තුවේ රජ කළ පාරාවෝ අක්තාටන් රජුගේ අගබිසව වෙච්ච නෙෆර්ටිටි රැජින නියවල පිරිසිදුකම ගැන හරියට හිතපු කෙනෙක්ලු. කොටින්ම අපිරිසිදු නිය තියෙන කාන්තාවක් ඇගේ පරිවාර ස්ත්‍රියක් විදියටවත් බඳවගෙන නැහැ. ඉතින් මේ කාලෙ වුණත් දුර්වර්ණ නියපොතු තියෙන කෙනෙක්ව ජොබ් ඉන්ටවිව් එකකින් රිජෙක්ට් වෙන්න වුණත් බැරි නැති බව මතක තියාගන්න ඕන.
නියපොතු අභාවයට යන්න අපිරිසිදුකම වගේම බලපාන තවත් හේතු කිහිපයක් තියෙනවා. ප්‍රධානම දේ තමයි වැරදි විදියට නිය ආලේපන ගල්වන එක.
නියපොතු ටික කහගැහිලා ගිය ගමන් ගොඩක් අය කරන්නේ නේල් පොලිෂ් ටිකක් ගාලා ගොඩින් බේරගන්න එක. හැබැයි ඒකෙන් වෙන්නේ පනින රිලවුන්ට ඉනිමන් තිබ්බා වගේ බැක්ටීරියා ක්‍රියාකාරීත්වය තවත් වැඩිවෙන එක.
නිය ආලේපන ගෑවම නියවලට අමුතු දිස්නයක් එකතු වෙන බව හැබෑව. දැන් කාලේ විතරක් නෙවේ රජ කාලේ ගෑනු උදවියත් උන්මාදෙන් වගේ නියපොතු පාට කළා කියලා පොත්වල සඳහන් වෙනවා. නිය ආලේපන කියන්නේ පැරණි ඊජිප්තු සමාජයේ ධනවත් බව, සශ්‍රීකත්වය පෙන්නුම් කළ සාධකයක්ලු. තද පාට නිය ආලේපන භාවිතා කරන්න පුළුවන් රජ පවුලේ උදවියටලු. රජවරු, රජ බිසෝවරු හෙනා සාරයෙන් හදාගත්තු රතු, කළු, වර්ණ භාවිත කරද්දී සාමාන්‍ය කාන්තාවන් මී ඉටිවලින් හදාගත්තු ලා වර්ණ භාවිතා කරලා තියෙනවා.
පාට මොකක් වුණත් නිය ආලේපන තෝරගද්දී හරි ප්‍රමිතියෙන් යුතු නිය ආලේපන තෝරාගන්න ඕනේ. ආලේප කරපු නේල් පොලිෂ් දවස් තුනකට වඩා නිය මත තියන්නත් නරකයි. ඒ වගේම නේල් පොලිෂ් ආලේප කරන්න කලින් නියවලට බේස් කෝට් (Base Coat) එකත්, නේල් පොලිෂ් ආලේප කළාට පස්සේ නියවලට ටොප් කෝට් (Top Coat) එකත් අලේප කරන්නත් අමතක කරන්න එපා. ඒවා නියවලට ආරක්ෂාව සලසන දේවල්.
නිය ආලේපන ගාන එක ගැන වගේම ඒවා හරිහමන් විදියට ඉවත් කරන්නත් දැනගන්න ඕනේ. නිය ආලේපන ඉවත් කරන සමහර නේල් පොලිෂ් රිමූවර්වල ඇසිටෝන් කියන රසායනික සංයෝජනය අඩංගුයි. ඒ සංයෝජනය නිසා නිය අවපැහැ ගැන්වෙන්න, විකෘති වෙන්න විතරක් නෙවේ ශරීරයේ පිළිකා ඇතිවෙන්නත් බැරි නැහැ කියලා හොයාගෙන තියෙනවා. ඒ නිසා ඒ සංයෝජනය අඩංගු නැති නේල් පොලිෂ් රිමූවර් එකක් ගන්න පරිස්සම් වෙන්න.
නියපොතුවලට අපේ ඇත්තෝ කරන ඊළඟ ලොකුම අකටයුතුකම තමයි නිතරම ඒවා හපන්න යන එක. මොකක් හරි ප්‍රශ්නයක් ආවත්, කරන්න වැඩක් නැති වුණත් නියපොතු ටික කටේ දාලා බර බර ගාලා හපන එක ගොඩක් අයගේ එකම සතුට. ඔය විදියට නියපොතු හපද්දී නියපොත්ත වටා තියෙන සමට හානිවෙලා නියපොත්ත ශක්තිමත් බවින් අඩු වෙනවා වගේම ඒවට විෂබීජ ආසාදනය වෙන්න තියෙන ඉඩකඩත් වැඩි වෙනවා.
ඉස්සර ඉන්කාවරු නියපොතු ලස්සන කරගන්න ඒ මත උකුස්සෝ ඇඳගන්නවලු. දැන් නම් නියපොතු ලස්සන කරන්න අලි, කොටි, වලස්සු එල්ල ගන්නේ නැති ටික විතරයිනේ. නියපොතු අලංකාර කරන එක හොඳයි තමයි. හැබැයි නිතර නිතර නියපොතුවලට දෙතිස් වද පමුණුවන්න යන එකත් නිය සවුත්තු වෙන්න හේතුවක්.
තව දෙයක්. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න ගන්න එපා කියනවනේ. එහෙමයි කියලා ෆෝන් කාඩ් සූරන වැඩේටයි, බෝතල් මූඩි අරින එකටයි හැම එකටම නියපොතු පාවිච්චි කරන්න යන්න එපා. මොකද තලන්න තලන්න තැලෙන යකඩේ මුවහත් වුණාට නියවලට වෙන අරියාදුකම් වැඩි වුණාම නිය ඝනත්වය අඩුවෙලා ඒවා ඉක්මණින් කැඩිලා යනවා.
හිතාමතා කරන වැරදිවලට අමතරව ශරීරයේ ඛනිජ ලවණ, විටමින අඩුවුණාමත් නිය අවපැහැ ගැන්වෙන්න, කැඩෙන්න බලනවා. ඒ වගේම දියවැඩියාව, අක්මා රෝග, හෘදය සහ පෙනහළු ආශිත ගැටලු නිසාත් නියවල වෙනස්කම් ඇතිවෙන්න බැරි නැහැ. හිටිහැටියේම නියපොතු නිල්, රතු, දම්, කොළ වගේ අමුතු පාට ගැහෙන්න පටන්ගන්නෙත් ඒ ඔය කිව්ව ශරීර අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්.
හරි, නියපෙළ ටික මුතු ඇට වගේ බලාගන්නේ කොහොමද කියන එක අපි දැන් බලමු.
පාවිච්චි කරලා ඉවර කරපු දත් බුරුසුවක් අරගෙන මාසෙකට කීපසැරයක් නියපොතු ටික මදින්න පුළුවන් නම් හොඳයි. පුළුවන්කමක් තියෙනවා නම් මාසෙකට එක සැරයක් හරි රූපලාවණ්‍යාගාරයකට ගිහින් මෙනික්‍යු, පෙඩික්‍යු සත්කාරයක් කරගන්න පුළුවන්.
ඇඟ සේදුවට පස්සේ මුළු සර්වාංගෙම පිහදැම්මට නියපොතු පිහදාන්න කාටද මතක? විශේෂයෙන්ම කකුලේ නියවල වතුර රැඳුණොත් බැක්ටීරියා ආසාදන ඇතිවෙන්න බලනවා. ඒ නිසා නියපොතු නිතරම වියළිවට තියාගන්න බලන්න.
රෙදි සෝදනකොට එහෙමත් නැත්නම් රසායනික සංයෝජන සහිත ද්‍රව්‍ය භාවිත කරනකොට අත්වලට අත් ආවරණ යුගළයක් පළඳින්න පුළුවන් නම් ඒවගෙන් නියවලට වෙන හානිය වළක්වගන්න ලේසියි.
ඒ කාලේ ගම්වල හිටිය බවලතුන් දෙහි ලෙලිවලින් වගේම දෙල් මල්වලිනුත් නිය මැද්දා. මේ දේවල්වලින් ඇත්තටම නියවලට හොඳ දිස්නයක් ලබාගන්න පුළුවන්.
ඒ වගේම ජෙලටීන් ටිකක් උණුවතුරට දාලා නිවෙන්න ඇරලා විනාඩි කිහිපයක් නියපොතු ගිල්වාගෙන ඉන්නත් පුළුවන්.
ඔලිව් තෙල්, පොල්තෙල්, ආමන්ඩ් තෙල් වගේ තෙල් වර්ගයක් ටිකක් රත් කරලා පුළුන් කෑල්ලක් මගින් නියපොතුවල ආලේප කරලා නියපොතු විනාඩි කීපයක් සම්බාහනය කරන්න.
ඒ වගේම ඔලිව් තෙල්, ලෙමන් ජලයට දාලා විනාඩි කිහිපයක් නිය ගිල්වාගෙන ඉන්න එකත් හොඳ සත්කාරයක්.
ආමන්ඩ් තෙල්, මී පැණි එකට මිශ්‍ර කරලා රාත්‍රී නින්දට පෙර නියවල ආලේප කරලා පසුදා නිය සෝදා දාන්න.
නිය මුළුවල රැඳෙන කුණු ඉවත් කරන්න වගේම නිය සියුම්වට පීරි ගාගන්න පුළුවන් Nail Buffer, Tool වගේ උපකරණ බොහොම අඩු මුදලකට වෙළඳපොළෙන් ගන්න පුළුවන්. ඉතින් තමන්ටම දෙන තෑග්ගක් විදියට එහෙම දෙයක් අරගෙන තියාගන්න එක පාඩු නෑ.
මධුෂිකා දසනායක