24/03/2023
ශ්‍රී ලංකාවේ ලාබාලතම සන්නිවේදන මහාචාර්යවරිය.
මහාචාර්ය මධුභාෂිණී හේවගේ මහත්මිය සන්නිවේදන අධ්‍යයනය ක්ෂේත්රයේ ලාබාලතම මහාචාර්යවරිය වශයෙන් 2022 වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි උසස්වීමක් ලැබී තිබේ. වයස අවුරුදු තිස් ගණන්වල දී මහාචාර්ය ධූරයෙන් මෙතුමිය පිදුම් ලැබීම ශ්‍රී ලාංකේය අධ්‍යයන ක්ෂේත්රයේ වාර්තාවක් ලෙස සැලකේ. කෙසේද යත් මින් පෙර සන්නිවේදන ක්ෂේත්රයේ මහාචාර්ය ධූරයකින් පිදුම් ලැබූ කිසිදු විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හෝ ආචාර්යවරියක් අවුරුදු 40 ට පෙර මෙම තනතුර හොබවා නොමැත.
සන්නිවේදන අධ්‍යන ක්ෂේත්රයේ එදා මෙදා තුර මහාචාර්යවරියන් තිදෙනකු පමණක් බිහි වී ඇත. මහාචාර්ය හේවගේ මහත්මිය තුන්වන මහාචාර්යවරිය ලෙස පිදුම් ලැබීය. පළමු මහාචාර්යවරිය දැනට සේවයෙන් විශ්‍රාම ලබා ඇති අතර හතලිස් වියේ මැද භාගයේ පසුවන දෙවන මහාචාර්යවරිය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට අනුබද්ධව කටයුතු කරයි.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ එදා මෙදා තුර බිහිවූ මහාචාර්යවරුන් හා මහාචාර්යවරියන් අතරින් අඩුම වයසෙන් මහාචාර්ය ධූරයෙන් පිදුම් ලැබූ ඇය දැනට ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ලාබාලතම මහාචාර්යවරිය ලෙස සේවය කරයි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයන් බිහිවූ එකම හා පළවෙනි සන්නිවේදන මහාචාර්ය වීමේ භාග්‍යය ඇයට හිමිවිය. විවෘත විශ්වවිද්‍යාලයේ මීට පෙර සන්නිවේදනය පිළිබඳව සහකාර මහාචාර්යවරයකු සේවය කර ඇති අතර දැනට වසර කිහිපයකට පෙර මෙතුමා සේවයෙන් විශ්‍රාම ලබා ඇත. මෙතුමිය සමාජ අධ්‍යයන දෙපාර්තමේන්තුවේන් බිහිවූ ප්‍රථම කාන්තා මහාචාර්යවරිය ලෙසද වාර්තා ගතවේ. මහාචාර්ය හේවගේ මහත්මිය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සම්මානයෙන්ද පිදුම් ලබා ඇත.
මෙතුමිය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයෙන් ප්‍රථම වරට ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ලබා ගනිමින් තැබූ වාර්තාව අදටත් කිසිවෙකු බිද හෙලා නොමැත. ශ්‍රී පාලි මණ්ඩපයේ අධ්‍යාපනය හැදෑරූ අය අතරින් අද වනවිටත් ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ එකම පුද්ගලයා මෙන්ම මහාචාර්ය ධූරයෙන් පිදුම් ලැබූ එකම මෙන්ම පලමු පුද්ගලයා වන්නේ ද ඇයයි. යමෙක් සරසවියෙන් පිට වනවාත් සමඟ වෙනත් විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියක ලෙස සේවය කිරීමට දොරටු විවර වීම අතිශය දුර්ලභ අවස්ථාවකි. ශ්‍රී පාලි මණ්ඩපයෙන් ප්‍රථම උපාධිය සම්පූර්ණ කරන ඇය එම වසරේම අග භාගයේ දී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට ආධුනික කථිකාචාර්යවරියක ලෙස සම්බන්ධවේ. 2009 වසරේ මුල් භාගයේ සිට ස්ථීර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කිරීමේ භාග්‍ය ඇයට හිමිවේ.
ඇය තම M(Phil) උපාධිය සම්පූර්ණ කර ඇත්තේ කැලණිය විශ්ව විද්‍යාලයෙනි. කැලණිය විශ්ව විද්‍යාලයේ සන්නිවේදන ආදී විද්‍යාර්ථයන් අතර අඩුම වයසෙන් ආචාර්ය (PhD) උපාධිය ලබාගත් මෙන්ම මහාචාර්ය ධුරයට පත්වූ පුද්ගලයා වන්නේ ද ඇයයි. මැලේසියාවේ ජාතික විශ්වවිද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමට ඇය අවස්ථාව ලබාගත්තේ ලෝක බැංකුව හරහා ලැබුණු තරගකාරී ශිෂ්‍යත්වයක් මඟිනි. එංගලන්තයේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් හිමි වුවද, පවුලේ එකම දරුවා ලෙස තිබු වගකීම නිසාම, ඇය ආචාර්ය උපාධිය සඳහා තෝරා ගන්නේ මැලේසියාවේ ජාතික විශ්වවිද්‍යාලයයි.
ඇගේ පර්යේෂණයේ අධීක්ෂකතුමා ආධාරයෙන් සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ කටයුතු හා විෂය කොටස් වලට සම්බන්ධවීමේ මහඟු අවස්ථාව ද ඇයට හිමිවිය. ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල සියයට ගැනෙන මැලේසියාවේ ජාතික විශ්වවිද්‍යාලයෙන් මෙන්ම ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය දහයට ගැනෙන සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඇයට හිමිවිය. තම ආචාර්ය උපාධිය නියමිත කාල පරිච්ඡේදය තුළ සාර්ථකව නිම කළ සිසුවාට ලැබෙන සම්මානයෙන්ද ඇය පුදනු ලැබිණි.
ශ්‍රී ලංකාවේ සන්නිවේදන විෂයේ අඩුම වයසකින් ආචාර්ය උපාධිය සම්පූර්ණ කරමින් ඇය තැබූ වාර්තාව අදටත් කිසිවකු බිද හෙලා නොමැත. ඉදිරියට තවත් සන්නිවේදන අධ්‍යනයෙන් බොහෝ ආචාර්ය උපාධිධාරීන් බිහි වුවද, අවුරුදු 30 දී ඇය ලැබූ මේ ජයග්‍රහණය නිදහස් අධ්‍යාපනයෙන් ප්රතිලාභ ලැබූ ශිෂ්‍යයෙක් ලැබූ විශිෂ්ට ප්රවීණතාවක් ලෙස සැලකිය හැකිය.
හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන් තම අධ්‍යාපනය හැදෑරූ මෙතුමිය එම විද්‍යාලයෙන් බිහිවූ ලාබාලම මහාචාර්යවරිය වන අතර කලා අංශයෙන් බිහිවූ එකම සහ ප්‍රථම මහාචාර්යවරියද වේ.
මෙසේ කොතරම් නම් සුදුසුකම් ලැබුවද, ඇගේ නිහතමානීත්වය, සරලකම හා මනුෂ්‍යත්වය ඇය වටා සිටින බොහෝ දෙනෙක් අගය කරති. ඔබතුමියට පෞද්ගලික මෙන්ම වෘත්තීය ජීවිතයේ තව තවත් ජයග්‍රහණ ලබාගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
We are here to report news in an ethical and responsible manner.