11/10/2024
Gen Z යනු කවුද? ඔබ අයත් generation එක කුමක්ද?
මානව පරම්පරා යනු මොනවා ද?
'සමාන ලක්ෂණ ඇති විවිධ පරම්පරා කණ්ඩායම් පිළිබඳ' විශේෂඥයෙකු වන ආචාර්ය ඇලෙක්සිස් ඇබ්‍රම්සන් පවසන්නේ, "ඔබ ඉපදෙන විට ඔබේ ආකල්ප, ඔබේ සංජානන, ඔබේ වටිනාකම්, ඔබේ හැසිරීම්වලට බලපාන කරුණු අනුව" මානව ඉතිහාසයේ පරම්පරා නිර්වචනය කරන බව ය.
ඉන් අදහස් කෙරෙන්නේ, සෑම පරම්පරාවකට ම ආවේණික වූ ලක්ෂණ ඇති බව ය.
*=නිහඬ පරම්පරාව (The Silent Generation)
මෙය පළමු පරම්පරාවේ කණ්ඩායම යි. ඊට 1926 සහ 1945 යන කාල සීමාව අතර උපන් පුද්ගලයෝ අයත් වෙති. ඔවුහු දෙවන ලෝක යුද්ධ සමය ආශ්‍රිතව ජීවත් වූ අය වෙති. 1950 දශකයේ ටයිම් සඟරාවේ පළවූ ලිපියකින් මෙම නම පැමිණ ඇති අතර, මෙම පරම්පරාවේ දරුවන්ට ඇසීමට නොව දැකීමට උගන්වනු ලැබූ අයවලුන් ලෙස හැඳින්වේ.
ආචාර්ය ඇලෙක්සිස් ඇබ්‍රම්සන්ට අනුව මෙම පරම්පරාවේ පුද්ගලයින් විනයානුකූල, සාරධර්ම පාදක කර ගත්, තාක්ෂණයට අකැමති, සෘජු සන්නිවේදනය සඳහා උනන්දුවක් දක්වන පිරිසකි.
*= Baby Boomers පරම්පරාව
දෙවන ලෝක යුද්ධයෙන් පසු උපත් විශාල වශයෙන් වැඩිවීම නිසා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් 1946 වසරේ සිට 1964 දක්වා කාල සිමාවේදී උපන් පුද්ගලයින් Baby Boomers යන නාමයෙන් හඳුන්වන ලදී. නිල රාජ්‍ය ආයතනයක් විසින් නිර්වචනය කර ඇති එක ම පරම්පරාව මෙය ලෙස හැඳින්වේ.
එම කාලයෙන් පසුව උපත් අනුපාතය නැවත අඩු වීමට පටන් ගත් බව වාර්තා වේ.
ආචාර්ය ඒබ්‍රම්සන් පවසන්නේ, Baby Boomers පරම්පරාව යනු කැපවීමක් ඇති, ස්වයංපෝෂිත සහ තරගකාරීව සිතන පිරිසක් බව ය.
*= Generation X පරම්පරාව
Resolution Foundation ආයතනය විසින් Gen X යන කෙටි නාමයෙන් නිර්වචනය කරන්නේ, 1966 වසරේ සිට 1980 දක්වා කාලයේ උපන් පුද්ගලයින් ය. ඔවුන් හැදී වැඩුණේ, තාක්‍ෂණය වේගයෙන් දියුණු වන කාලයක, නමුත් එය අද මෙන් පහසුවෙන් ලබා ගත නොහැකි විය. මේ නිසා, මෙම පරම්පරාව ඩිජිටල් සහ ඩිජිටල් නොවන ලෝකය යන දෙකෙහි ම ගමන් කර තිබෙන අතර, දෙකෙහි ම වැදගත්කම තේරුම් ගන්නා අයවලුන් ලෙස හැඳින්වේ.
මෙම පුද්ගලයින් සම්පත්දායකයින් ලෙසත්, තර්කානුකූලව සිතන සහ සාර්ථක ගැටලු විසඳන්නන් ලෙස හැඳින්විය හැකි බව ආචාර්ය ඇලෙක්සිස් ඇබ්‍රම්සන් පවසයි.
*= Millennials (Generation Y) පරම්පරාව
මෙම පරම්පරාවේ ආරම්භය සහ අවසානය කුමන වර්ෂවල ද යන්න නිශ්චිතව හඳුන්වා නැත. නමුත් එය ආසන්න වශයෙන් 1980 වසරේ සිට 1995 දක්වා උපත ලැබූ අය ලෙස සැලකේ. ඔවුන් බොහෝවිට 'උදාසීන' පිරිසක් ලෙස මාධ්‍ය විසින් හඳුන්වනු ලැබේ.
උදාහරණයක් ලෙස, නිවසක් ඉදිකිරිමට ඉතිරි කළ යුතු සියලු ම මුදල් නිකරුණේ වෙනත් දේවල් සඳහා වියදම් කරනු ලබන පිරිසක් ලෙසට ඔවුන් හඳුන්වනු ලබයි.
මෙය “ඩිජිටල්කරණයට ලක්වූ” පළමු පරම්පරාව බවත් ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීමට හෝ කරුණු ඉගෙනීමට තවදුරටත් අන් අය මත යැපීමට අවශ්‍ය නොවන බැවින් මෙම පරම්පරාව අතිශයින් ස්වයංපෝෂිත ලෙස හැඳින්විය හැකි බව ආචාර්ය ඇබ්‍රම්සන් පවසයි.
විශ්වාසය, කුතුහලයෙන් යුක්තවීම සහ ඕනෑ ම දෙයක් ප්‍රශ්න කිරීම මෙම පරම්පරාවේ ගති ලක්ෂණ ලෙස හැඳින්වේ. ඇතැම් වැඩිහිටි පරම්පරා මෙම පරම්පරාව කෙරෙහි නොරුස්නා ස්වභාවයක් පළ කළ හැකි බව ද ආචාර්ය ඇලෙක්සිස් ඇබ්‍රම්සන් පවසයි.
*= Generation Z (Gen Z) පරම්පරාව
මෙම පරම්පරාව ආරම්භ වන්නේ, කොතැනින් ද යන්න පිළිබඳව පරස්පර විරෝධී අදහස් කිහිපයක් තිබේ. ඇතැම් පිරිස් මෙම පරම්පාරව 1997 වසරේ සිට ඉපදුණු පුද්ගලයින්ගෙන් ඇරඹුණු බවත්, තවත් පිරිසක් 2000 වසරේ සිට ඉපැදුණු අය Gen Z පරම්පරාවට අයත් බවත් පවසති.
මෙම පරම්පරාවේ ආරම්භය කුමන වසරක සිදු වුවද, මෙම පරම්පරාව නියෝජනය කරන පිරිස තරුණ මෙන් ම, තාක්‍ෂණයෙන් තොර ජීවිතයක් කිසි දා දැන නොසිටි පිරිසක් ලෙස හැඳින්වේ.
ඇමෙරිකානු මනෝ විද්‍යාඥ ආචාර්ය ජීන් ට්වෙන්ජ් ඉදිරිපත් කර ඇති පරිදි, Gen Z පරම්පරාවේ විකල්ප නාමය iGen ලෙසට හඳුන්වනු ලැබේ. එම පරම්පරාවේ ඉපැදුණු පුද්ගලයින් අභිලාෂකාමී, ඩිජිටල් තාක්ෂණයෙන් ස්වයංපෝෂිත වූ සහ ආත්ම විශ්වාසයක් ඇති යන ලක්ෂණවලින් හෙබි අය ලෙස හැඳින්වේ.
*- Alpha පරම්පරාව
සමාජ පර්යේෂක මාර්ක් මැක්‍රින්ඩල් විසින් ඊළඟ පරම්පරාව එනම්, Gen Z පරම්පරාවය පසු පරම්පරාව ඇල්ෆා ලෙස නම් කර ඇත. 2010 වසරේ සිට උපත ලැබූ සහ ලබන මෙම පිරිස් ඉතා විශාල කණ්ඩායමක් බවට පත්වනු ඇති බවට සැලකේ.
මෙම කණ්ඩායමෙහි විශේෂත්වයක් නොමැති අතර, ආචාර්ය ඇලෙක්සිස් ඇබ්‍රම්සන් අනාවැකි පළ කරන්නේ ඔවුන් පවුලට නැඹුරු වනු ඇති බව ය. එම පරම්පරාවේ දෙමාපියන් Gen X සහ millennials පරම්පරාවේ අය වනු ඇති බව පැවසෙයි.
මෙම Alpha පරම්පරාව ඔවුන්ට පෙර සිටි අනෙක් ඕනෑ ම පරම්පරාවකට වඩා ඩිජිටල් දැනුමෙන් පිරුණු අය වනු ඇති බව ද පැවසේ.
"ඔවුන් පාතබන්නේ නව ලෝකයකට. ඔවුන් අවතීර්ණ වෙන්නේ, මේ සිටින්නේ පිරිමි පුද්ගලයෙක්, මේ සිටින්නේ කාන්තාවක් හෝ මේ සිටින්නේ ලිංගික සංක්‍රාන්තික අයෙකු ලෙස හැඳින්වීමක් නොවන සමාජයකට යි. එය විවෘත සමාජයක් වනු ඇති."
මූලාශ්‍රය - බීබීසී
💕copied 💕