24/06/2025
#තරු_ඇස්
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
“රාද්… අර ඩෝ බෙල් එක වදිනවා. ගිහින් බලන්නකො.”
තත්යා උස් හඬින් කෑ ගැසුවේ ගෞරාද් දැන් පැයක පමණ තිස්සේ සිටම කාර්යාලයට යාමට සූදානම් වෙමින් සිටි කෝපයටය.
“මටවත් වෙලා යන්නෑ මේ යෝධයාට ලෑස්ති වෙන්න යන තරම්.”
ඈ තනිවම මැසිවිලි නැගුවේ දිගින් දිගටම නිවසේ විදුලි සීනුව නාද වෙමින් තිබෙද්දීමය. ඇය සිටියේ බිත්තර ඔම්ලට් එකක් සාදන අතරය.
“රා…ද්…”
ඇය මුළුතැන්ගෙයින් පිටට පැමිණ උඩුමහල දෙස බලා කෑ ගැසුවේ පෙර කෝපයෙන්මය.
“මොන මලවදයක්ද මන්දා. මොක්කු එනවද මන්දා මේ උදේ පාන්දර.”
ගෞරාද් ටයි පටිය අතේ පටලවාගෙන තරප්පු පෙළ බසින්නට වූයේ බුම්මාගෙනය. නමුත් ඇය ඔරවාගෙන සිටින බව දුටු ඔහු, ඇයව නුදුටු සේ ගොස් දොර විවර කලේ ඕනෑවට එපාවටය. දොර අසල සිටි පුද්ගලයින් දෙදෙනා දුටු ගෞරාද්ගේ මුවේ යළි ඇඳුනේ මදහසකි.
“මොකෝ උඹලා දෙන්නා මේ කුකුලත් අතේ තියාගෙන.”
ඔවුන් නිවසට ඇතුළු වූ පසුව දොර වසා දමාම ගෞරාද් ඔවුන්ගේ පිටුපසින්ම විසිත්ත කාමරයට ආවේය.
“අපි එන්නද අහන හැමදාම උඹ එපා කියනවානෙ. ඒ හින්දා නොකියම ආවා. මේ අවන්‍යා හැමදාම කියනවා තරූව බලන්න යන්න ඕනෙ කියලා. ඒ හින්දා ආවා.”
දුෂේන් පැවසුවේ ගෞරාද්ව ගණන් නොගෙනය. අවන්‍යාද ගෞරාද්ට රවා ඉවත බලාගන්නට වූවාය.
“තරූ කිචන් එකේ. ඩයට් කරනවා අන්න පණ දාගෙන. මේ දවස් ටිකට මහත් වෙලා කියන්නෙ.”
ගෞරාද් පවසන්නේ මුළුතැන්ගේ දෙස බලා උස් හඬිනි. ඔහු පැවසූවට දුෂේන්ගේ මුවේ ඇඳුනේ පුළුල් සිනහවකි.
“තෝ මේ දවස් ටිකට කෙල්ලව මහත් කරලා ගත්තද බල්ලො.”
දුෂේන් විමසන්නේ හඬ පහත්කරය. අවන්‍යා ඔවුන් දෙදෙනාටම රවා මුළුතැන්ගේ දෙසට ඇවිද ගියේ තත්යාව සොයාගෙනය.
“මේ මම ලෑස්ති වෙලා එන්නම්. උඹ චුට්ටක් හිටපන්.”
“රාද්… ටිකක් හිටපන්කො. කතා කරන්න දෙයක් තියනවා.”
දුෂේන් ඔහුව නැවතූයේ බැරෑරුම් වතිනි. ඔහුගේ වතෙහි වූ බැරෑරුම්කම දුටුවනම ගෞරාද් නැවතී සිටියේ ප්‍රශ්නාර්ථ බැල්මකිනි.
“මම උඹට දැන් දවස් දෙක තුනකට කලින් කිව්වා මතකද, මම දන්න අනුරාධපුරේ හොඳ වෙද මහත්තයෙක් ඉන්නවා කියලා?”
“තරූගෙ මාක්ස්වලටද?”
ගෞරාද් සූදානම් වීම පසෙක තබා දුෂේන් ඉදිරියේ වූ අසුනේ හිඳගත්තේ එලෙස අසමිනි. දුෂේන් හිස සොලවා අසුනේ පිටුපසට හේත්තු වූයේ බැරෑරුම් බැල්මක් ඔහු දෙසට හෙළමිනි.
“මම ඊයෙ ඒ වෙදමහත්තයට කෝල් කලා. වෙද ගෙදර පිරිලාලු මේ දවස්වල ලෙඩ්ඩුන්ගෙන්. ඒ නිසා අලුත් අයව භාරගන්න බෑ කියනවා.”
“ඉතින් ඒ මිනිහා විතරක් යෑ ඉන්නෙ ලංකාවෙ. වෙන තැනක් හොයලා බලපන්. පිටරටක වුනත් කමක් නෑ.”
දුෂේන් ඔරවාගත්වනම තම මිතුරා දෙස බැලුවේය.
“මම මේ දවස් ටිකට කීයක් නම් හොයලා දුන්නද උඹට ආ? එක්කෝ වෙද මහත්තයා තරුණ වැඩියි කියනවා. එක්කෝ වැඩ කරන උන් ඔක්කොම පිරිමි කියලා තරූව එතන තියන්න බෑ කියනවා. එක්කෝ වෙද ගෙදර දුර වැඩියි කියනවා. මොන මගුලක්ද කියපන්කො රාද්. තව උඹ මට නොකිව්වෙ ‘අපෝ ඒ වෙදා, අපේ වඳ පුංචි අම්මාගෙ පුතෙක් වෙනවා. ඒ හින්දා බෑ’ කියලා විතරයි.”
දුෂේන් කෝපයෙන් මුර ගෑවද ගෞරාද් යන්තම් සිනහවක් පෑවේය.
“උඹට හැමදේම විහිලු. එහෙමයි කියලා උඹ හොයලා බලන්නෙත් නෑ. ඇත්තටම උඹට තරූව හම්බුනා විතරයි හොඳටම ට්‍රැක් අවුට් ගිහින් ඉන්නෙ රාද්.”
දුෂේන් නොවළහා පැවසුවේ අඳුරු වූ වතිනි.
“දැන් මොකද්ද අපිට කරන්න පුලුවන් කියපන්කො? මගේ විදියට මම ගිහින් කතා කරලා බලන්නද ඒ වෙදා එක්ක. එහෙම නැත්නම් වෙන එකෙක් බලනවද? සිරාවටම මට පේන්න බැරි වචනයක් තමා ඔය නෑ බෑ කියන එක නම්.”
ඔහුගෙ දඩබ්බර වදන් ඇසුණු දුෂේන්ට සිහි වූයේ තමාගේ තරුණ කාලයය. තමාද ඔහු සේම දඩබ්බරයෙකි. බොහෝ විට හිතුවක්කාරයෙකි. අද ගෞරාද්ගෙන් දුෂේන් දකින්නේ ඔහුගේම ඒ හිතුවක්කාර වියය.
“උඹේ විදියට කතා කළොත් ඉතින් පහුවදා වෙද්දි ඒ මිනිහා මැරිලා ඉඳීයි. උඹ දන්නෙ අතපය විසික් කරන්න විතරනෙ. මට පුදුමයි මේ තරූගෙ සීන් එකේදි උඹ දිනෙත්ව අර තරම්වත් ඉවසපු එක ගැන.”
දුෂේන් එවර පැවසුවේ සිනාමුසුවය.
“උඹට විතරක් නෙමේ. මට මම ගැනම පුදුමයි. මාව පිටරටදි ඇක්සිඩන්ට් කරවපු… මාව මරන්න හදපු මිනිස්සු එක්ක මම කොහොමද එච්චර කාම්ඩවුන් වෙලා කතා කලේ කියලා. මම ඒ ඔක්කොම කලේ තරූ වෙනුවෙන් බං. මම එතන පිස්සුවක් නැටුවා නම් මගෙ කෙල්ලනෙ දුක් විඳින්නෙ. හැබැයි මචං එකක්…! මම දිනෙත්ව මරන්නෙ මගෙ අත් දෙකෙන්මයි. ඒ වගේම ඌට මැරෙන්න සිද්ධ වෙන්නෙ මේ ලෝකෙ මැරෙන්න පුලුවන් අසික්කිතම විදියට.”
“අසික්කිත නෙමේ. ඕකට හරි වචනෙ භයානකම විදියට කියන එක රාද්. මම මගෙ ඇස් දෙකෙන් දැකලා තියෙන භයානකම මිනිහා උඹ. ජෙරාඩ්කාරයා උඹට වඩා වයසින් වැඩි වුනාට ඌ උඹේ භයානකකම එක්ක බලද්දි තාම නර්සරි යනවා.”
දුෂේන් පැවසුවේ උපහාසාත්මක සිනහවක් සමඟිනි.
“දිනෙත්ව මරන දවසට වරෙන්. එදාට උඹට දකින්න පුලුවන් මගෙ ඇත්තම විදිය.”
ගෞරාද්ගේ නෙතු ඒ මොහොතේ දිලිසෙමින් තිබුණේ වෛරයෙනි. දුෂේන් ඔහුගේ උරපත්තක් තදින් අල්ලාගත්තේ ඔහුගේ කෝපය මඳක් හෝ සංසිඳුවන වස්ය.
දුෂේන් හා අවන්‍යාගේ පැමිණීමෙන් මුළු නිවසම ආලෝකමත්ව තිබිණි. මුළුතැන්ගෙයි දෙසින් විටින් විට ඇසෙන කිචි බිචියත් තවත් විටෙක ඇසෙන උස් හිනාවත් විටින් විට දුෂේන්ගේ හා ගෞරාද්ගේ කතාබහ බාධාවක් ඇති කළද ඔවුන් දෙදෙනාද ඒ ගැන එතරම් සිතන්නට ගියේ නැත.
“ධනුකට කතා කරලා කියපන් ඔෆිස් එකේ වැඩ බලාගන්න කියලා. අද මේ මමත් ඔෆිස් ගියෙ නැතුව උඹලාව බලන්න ඇවිත් ඉද්දි උඹ ඔෆිස් ගියාම හරිද බල්ලො.”
අවසානයේ ගෞරාද්ගේද ගමන අතරමග නැවතී ගියේ තරූද ඔහුට ඇවිටිලි කරන්නට වූ නිසාය.
“අද ඉන්නකො. මේ දුෂේන් අයියලත් ඇවිල්ලා ඉන්න එකේ… මගෙ හොඳ පැටියානෙ.”
ගෞරාද් සියලු ඇඳුම් ඉවත් කර සාමාන්‍ය ඇඳුමක් ඇඳ පහළට එනතුරුම තත්යාගේ ඇවිටිල්ල නතර නොවීය.
අවන්‍යා හා තත්යා එකතුව සෑදූ උදෑසන ආහාරයද දුෂේන් හා ගෞරාද් ගත්තේ ඔවුන්ගේ සුපුරුදු කතාබහ ඉදිරියට ගෙන යන අතරය.
“මෙහෙමයි රාද්. අපේ ප්‍රොෆෙසර්ට කිව්වා නම් උදව්වක් ගන්න බැරි වෙන එකක් නෑ. අයියා කියන දේ මල්ලි අහයිනෙ.”
අවන්‍යා පැවසුවෙ සිහින් සරිනි. ඈ කවදත් තව කෙනෙකුගේ කතාබස්වලට මැදින් පනින්ට අකමැති අයෙකු විය. නමුත් ගෞරාද් දිගින් දිගටම දුෂේන් හා බහින්බස්වීම නැවතීමක් නොවූ තැන ඇය කටහඬ අවදි කළාය.
“ඔක්කොම හොඳයි තමුසෙලෑ ප්‍රොෆෙසර් කාරයා මට ඉලන්දාරියා කියද්දි තමා මට යක්ෂයා ආවේශ වෙන්නෙ. රෙද්ද.”
ගෞරාද් කෝපයෙන් යුතුව පවසද්දී තරූ ඔවුන් තිදෙනාගේම මුව දෙස බලා උන්නේ ඇයට කිසිවක් හරිහැටි නොතේරුණු නිසාමය.
“ප්‍රොෆෙසර් හරි හොඳ මනුස්සයෙක් රාද්. හැබැයි ඒ මූණෙන් හිනාවක් දකින්න පුළුවන් හරිම කලාතුරකින්. ඔයාව දකින හැමදාම ඒ මූණෙ හිනාවක් තියනවා. නර්ස්ලාත් ඒ දවස්වල කතා වුනා අපිට දාන රෙස්පට් ඔයාට දාන්නෑනෙ එයා කියලා.”
“ඒ කිව්ව වෙද ගෙදරයි, අර ප්‍රොෆෙසර්ගෙයි අතර සම්බන්ධෙ මොකක්ද?”
මෙතෙක් වෙලාවක් නිහඬව සිටි තත්යා විමසුවෙ කුතුහලයෙනි.
“ප්‍රොෆෙසර් සිග්මන්ගෙ මල්ලි තමා අපි මේ කියන වෙද මහත්තයා.”
යුවතියගේ නෙතු විසල් වූයේ බලා ඉද්දීමය.
“ඇත්තටම? වාව්… අයියායි මල්ලියි පැති දෙකකින් එකම දේ ඉගෙනගෙන තියෙන්නෙ ඒ කියන්නෙ නේද?”
අවන්‍යා හිස සැලුවේ එය එසේ බව අඟවන්නටය.
“දුෂේන් මට ඔය කතාව කියද්දි මමත් පුදුම වුනා. හැබැයි එක අතකට පුදුම වෙන්න දෙයක් නෑ. ප්‍රොෆෙසර් සිග්මන් කියන්නෙ මම දැකපු දක්ෂම ඩොක්ටර් කෙනෙක්. ඒ දක්ෂකමම මල්ලිටත් ඇතිනෙ.”
“ප්‍රොෆෙසර්ගෙ තාත්තා ආයුර්වේද වෙදමහත්තයෙක්ලු. අම්මා හිටපු ඩොක්ටර් කෙනෙක්ලු. පුතාලා දෙන්නා ගිහින් තියෙන්නෙ අම්මාගෙයි තාත්තාගෙයි අඩි පාරෙ.”
දුෂේන් පැවසුවේ සාවධානවය.
“අයියා කොහොමද එච්චර දෙයක් දන්නෙ?”
තත්යාගේ නෙතුවල තවමත් වූයේ නොනිමි කුතුහලයකි.
“මේ දෙන්නා අපිට දෙයක් කියනවා නම් කියන්නෙ සම්පූර්ණ විස්තරේම දැනගත්තට පස්සෙ නංගි. ඔයාටත් තව ටික දවසකින් තේරෙයි.”
අවන්‍යා පැවසුවේ ගෞරාද්ව දෑස් කොනකින් පෙන්වමිනි. ඒත් සමඟම නිවසේ විදුලි සීනුව නාද විය. සිව් දෙනාගේම නෙතු ප්‍රධාන ද්වාරය දෙසට යොමු වූයේ විස්මයෙනි.
මේ නිවස පිළිබඳ දැන උන්නේ දුෂේන් හා අවන්‍යා හැරුණුකොට ගෞරාද්ගේ අම්මා, තාත්තා හා ධනුක පමණය. ධනුක මේ මොහොතේ සිටින්නේ කාර්යාල තුළය. අම්මා කිසිසේත්ම මෙහි නොපැමිණෙන බව ගෞරාද්ට විශ්වාසය. ගෞරාද් අසුනින් නැගිට ද්වාරය අසළට ඇවිද ගියේ සියුම් කලබලයකිනි. ආරක්ෂක කැමරා තිරයේ සටහන්ව තිබූ රුව දුටුවනම ගෞරාද්ගේ දෙබැම යා විය. සිතූ ලෙසම ඒ මනෝරම දෑළබණ්ඩාර විය.
ගෞරාද් දොර විවර කළද තවමත් ඔහු සිටියේ නිවසට ඇතුල්වන මග අහුරාගෙනය. තම පියා දෙස එක එල්ලේ තත්පර කිහිපයක් ඔහු බලා සිටින්නට වූවේය.
“මම ආවෙ දුවව බලන්න. අයින් වෙන්න.”
ඉතින් එය අණක් බව අමුතුවෙන් කියන්නට වුවමනාවක් නොවීය. නමුත් ගෞරාද් සිටි තැනින් සෙලවෙන්නටවත් නොගියේ තිබූ දඩබ්බරකම නිසාමය.
“මගෙ ගෙදරට ඇවිත් මටම සද්ද දාන්න මම කවුරු කියලාද ඔයා හිතාගෙන ඉන්නෙ?”
ගෞරාද්ගේ රළු හඬට කෑම මේසයේ අසුන් ගෙන සිටි තිදෙනාම තිගැස්සී ගියහ. තත්යා නොදැනීම අවන්‍යාගේ අතක් අල්ලාගත්තේ බියපත්වය.
“මම තමුන්ට සද්ද දැම්මෙ නෑ ගෞරාද්…! මට කෙනෙක්ට සද්දයක් දාන්න, ඒ කෙනාගෙ ජාතකේ වැදගත් නෑ. මම හිතන්නෙ ඔයා ඒක හොඳටම දන්නවා. මම සාමාන්‍යයෙන් දැන් වැඩිය සද්ද දාන්නෙ නෑ මිනිස්සුන්ට. හැබැයි ඒකෙන් අදහස් කරන්නෑ මට සද්ද දාන්න බෑ කියන එකත්. හරි.”
මනෝරම ඒ වදන් කිහිපය පැවසුවේ ගෞරාද්ගේ කනටකර රහසිනි. ගෞරාද් මොහොතකට ගල්වී ගියේ තම පියා පැවසූවටය. මතක ඇති කාලයක කිසිදා ඔහු මෙසේ තමාට කතා කර නැත. පුදුමයක් දැනුණේ ඒකය.
තම පුතුගේ බාහුවක හැපීගෙනම මනෝරම නිවසට ඇතුළු විය. ඔහුත් සමඟම ඔහුගේ ප්‍රධාන ආරක්ෂකයින් සිව් දෙනෙකුද නිවසට ඇතුළු වූයේ ගෞරාද් කෝපයෙන් දත්මිටි සපමින් බලා හිඳිද්දීමය.
“මනෝ අන්කල්…”
මනෝරමව දුටු සැණින් තත්යා වේගයෙන් දිවගොස් ඔහුට තුරුලු වූයේ හුරුපුරුදු සෙනෙහසින්මය. ඈ ප්‍රභාත්ට තරමටම මනෝරමට ආදරය කළාය. මනෝරමද එසේමය.
“තරූ… කොහොමද ඉතින් දරුවෝ…”
ඔහු විමසන්නේ ඇයගේ හිස අතගාමිනි. ඒ ස්පර්ශයට ඈ කවදත් ප්‍රිය කළාය. ප්‍රභාත් ලංකාවේ නොමැති බොහෝ දිනවල ඈ සිටියේ මනෝරමගේ නිවසේය. වත්සලා බොහෝ දිනවල චිත්‍රපට පුහුණුවීම් සඳහා නිවසේ නොසිටින නිසාම පුංචි තත්යාගේ ගත දෙවීමේ සිට ඇයගේ කෑම කවා ඇයව නිදිකරවන කාර්ය සම්පූර්ණයෙන්ම කලේ මනෝරම විසිනි. ඒ නිසාම ඈ වත්සලාටත් වඩා මනෝරමට ලෙංගතු විය.
“මං හොඳින්… ඔයාට කොහොමද අන්කල්. මේ කොහෙ යන ගමන්ද?”
“බිස්නස් වැඩකට මේ පැත්තෙන් යන ගමන් හිටියෙ. මට ගෞරාද් එක්ක පොඩි කතාබහක් තියන හින්දා මෙතනින් ටිකක් නැවැත්තුවෙ. ඒ ගමන් මට මගෙ දෝණියාවත් බලන්න පුලුවන්නෙ.”
ඔහු ඇයව තුරුලු කරගෙන ඒ හිස මත හාදුවක් තවරමින් පැවසුවේ සැබෑම පිය සෙනෙහසකිනි.
“අපරාදෙ. ඔයාට තිබ්බෙ මට කෝල් එකක් දෙන්න.”
දොර ළඟ සිටි ගෞරාද් පැවසුවේ මනෝරමව ගණන් නොගෙනම විසිත්ත කාමරයේ වූ සෝෆාවට බරවෙමිනි.
“එහෙම කරන්න තිබ්බා තමුන් මගෙ කෝල්ස් ආන්සර් කරනවා නම්. ඒකයි මම පහුගිය ටිකේ ටෙක්ස්ට් මැසේජස් එව්වෙ තමුන්ට රාද්. තමුන් ඉතින් ඒවත් සීන් විතරයි රිප්ලයි නැහැනෙ.”
මනෝරම අනාරාධිතවම ගෞරාද්ගේ ඉදිරියෙන් අසුන් ගත්තේ මුව කොනක රැඳි උපහාසාත්මක සිනහවක් සමඟය.
“මට ඕනෙ කරන ඉන්ෆොමේෂන් ටික මම ඒවාගෙන් ගත්තාට පස්සෙ මම මොකටද රිප්ලයි කරන්නෙ ඔයාට?”
ගෞරාද් පිළිවදන් සැපයූවේ මනෝරම දෙස එක එල්ලේ බලාගෙනය.
“අන්න ඕක තමා වෙනස තාත්තෙක්ගෙයි පුතෙක්ගෙයි අතර රාද්. පුතාට තාත්තාව යූස් කරන්න පුලුවන් වුනාට තාත්තෙක්ට බෑ පුතෙක්ව යූස් කරන්න.”
මනෝරම යන්තම් සිනහවකින් පැවසුවද ගෞරාද්ගේ වතෙහි සිනහවක් නොවීය.
“ඔයාට ඉතින් මාව අමුතුවෙන් යූස් කරන්න දෙයක් නෑ. මම ඔයා හින්දා දැන් අවුරුදු ගාණක් තිස්සෙ…”
ගෞරාද් පැවසීමට ගිය දේ හදිසියේ ගිලගත්තේ තවමත් තමා දෙස කුතුහලයෙන් යුතුව බලා සිටින තත්යාව දැකය. දෙදෙනා අතර ඉන්පසුව මිනිත්තු කිහිපයක් යනතුරුම කිසිදු කතාවක් නොවූයේ තත්යා ඉදිරියේ කතාකරන්නට ඔවුන් දෙදෙනාම දමාගත් යම් යම් සීමාවන් තිබූ නිසාය.
“තරූ… අපි ගිහින් අන්කල්ට බොන්න මොනාහරි හදමුද?”
අවන්‍යා විමසද්දී මනෝරම හිස හරවා අවන්‍යා දෙස බලා ඊලඟ තත්පරයේ දුෂේන් දෙස බැලුවේය.
“කොහොමද පුතා? නොදැක්කා නෙමෙයි. ඒත් මේ ගෙදරට ඇතුල් වෙන්න කලින් ඉඳන්ම මේ මනුස්සයා මගෙ ලේ ටික පිච්චුවානෙ. ඒකෙන් මේකෙන් මට ඔයා එක්ක කතා කරන්න බැරි වුනා.”
“අනේ ඒකට මොකද සර්.”
මුළුතැන්ගෙයි දෙසට ඇවිද යමින් සිටි තත්යා, පුදුමයෙන් නැවතී බැලුවේ දුෂේන් ගෞරවාන්විතව ආමන්ත්‍රණය කළ නිසාය.
“සර්?”
තත්යා මිමිණුවේ විස්මයෙනි. අවන්‍යා ඇයව කැඳවාගෙන ඉක්මනින් මුළුතැන්ගෙයි දෙසට ඇවිද ගියේ මනෝරම සමඟ සුහදව සිනාසීගෙනය.
“ඇයි ඒ දුෂේන් අයියා, මනෝරම අන්කල්ට සර් කිව්වෙ?”
තත්යා හදිසියේ නැගූ පැනය අසල අවන්‍යා යන්තම් සිනහවකින් ඇය දෙස බැලුවාය.
“රාද් ඔයාට මුකුත්ම කියලා නැද්ද මනෝරම සර් ගැන.”
“ඔය ඉතින්… ඒ ගමන ඔයත් සර්ලු. ඇයි එහෙම?”
යුවතිය විමසුවේ තරමක් බැරෑරුම් ආකාරයටය. තත්යාගේ විස්මයට පත් නෙතු දුටුවනම ඇය තවමත් කිසිත් නොදන්නා බව අවන්‍යාට වැටහිණි.
“එයා ඉතින් බිස්නස්මන් කෙනෙක්නෙ. අනික වයසිනුත් වැඩිමල්.”
“ඉතින් අපේ තාත්තිත් එහෙමනෙ. එයාගෙ සේවකයො ඇරෙන්න වෙන කවුරුත් එයාට සර් කියලා කතා කරනවා මම නම් අහලා නෑ.”
මොහොතක් කල්පනා කළ අවන්‍යා හිස සළා තත්යා සමඟ එකඟ විය. දිගින් දිගටම ඇයට පිළිවදන් සපයන්නට අවන්‍යා කිසිසේත්ම ආශා කලේ නැත.
මුළුතැන්ගෙයි එසේ වෙද්දී විසිත්ත කාමරයේ වූයේ දැඩි නිහැඬියාවකි. ගෞරාද් අසලම වාඩි වී සිටි දුෂේන් මාරුවෙන් මාරුවට මේ පිය පුතු සීතල ගැටුම දෙස බලා හිඳින්නට විය. දෙදෙනාම එක එල්ලේ ඔවුනොවුන් දෙස බලා සිටින්නේ දැන් මිනිත්තු ගණනාවක සිටය.
“ඔයා කිව්වෙ තරූගේ අත්වල තිබ්බ අර මාක්ස් ගැනද සුදු පුතා?”
මුලින්ම නිහැඬියාව බිඳ දැමුවේ මනෝරම විසිනි. නමුත් ගෞරාද් ඊට පිළිවඳන් සැපයීමට උත්සුක වූයේ නැත.
“ඇයි අරූගෙ අත විතරක් කඩලා නතර කළේ? තව අඬුවක් දෙකක් කඩන්නනෙ තිබ්බෙ ඒ # # #ගෙ # #ගෙ.”
මනෝරම පැවසුවේ කෝපයෙන් අත් මිට මොලවාගෙනය. තත්යාව දුටුවනම ඔහු ඒ කැලැල් දුටුවද ඒ බවක් මනෝරම ඉඟියකින් හෝ දක්වන්නට නොගියේ ඇයව අපහසුතාවයට පත් කළ නොහැකි නිසාමය.
“මට ඊට වඩා ලොකු ප්ලෑන් එකක් තියනවා.”
ගෞරාද් පැවසුවේ ඉවත බලාගෙනය.
“රාද්ගෙ ගෝලයො ආයෙම නැගිටලා කියලා පොඩි කට කතාවක් යනවා. කට්ටිය ටිකක් ඇවිස්සිලා ඉන්නෙ.”
මනෝරම පැවසුවේ හඬ මඳක් පහත්කරය. ගෞරාද් ඊට කිසිත් පවසන්නට ගියේ නැත. මේවා මෙලෙස සිදුවන බව ඔහු කල්තබාම දැන සිටියේය.
“ඒක කියලා යන්නද ඔයා මෙහෙ ආවෙ?”
ගෞරාද් එවර උපහාසාත්මක සිනහවක් පාමින් අසුනේ හරිබරි ගැසී වාඩි විය.
“නෑ. ඊට වඩා දෙයක් කියන්න.”
ගෞරාද් යන්තම් ඇස් ඔසවා මනෝරම දෙස බැලුවේය.
“අම්මා, පැහැසරාට කියලා ඔයා ඉන්නෙ මෙහෙ කියලා. ඒ වගේම පැහැසරා ලොකේෂනුත් හරියටම අම්මාගෙන් අහගෙන. කොයිවෙලේහරි පැහැසරා හරි දිනෙත්ලා හරි මෙහෙට එනවා.”
මනෝරම එය පැවසුවේ දැඩි විශ්වාසනීය හඬකිනි.
“මං ඒත් බැලුවා අපේ අම්මා ඒ වගේ මෝඩ වැඩක් කරන්න ඇයි මෙච්චරටම පරක්කු කියලා.”
නැවතත් නිහැඬියාවක් විසිත්ත කාමරය තුළ රජයන්නට විය.
“පුලුවන් ඉක්මනට දෝණිවත් අරගෙන, අර කරනවයි කිව්ව ට්‍රීට්මන්ට්ස්වල වැඩ පටන් ගන්න. ඒ ළමයාව මෙහෙන් ඈත් කරලා තියෙන තරමට මට මෙහෙ වැඩ ප්ලෑන් කරගන්න ලේසියි.”
ඔහු අවසන් වදන් පැවසුවේ අවිනිශ්චිත බවකිනි. ගෞරාද්ට මෙන්ම දුෂේන්ටද එය හොඳින්ම දැනුණි.
“ඒත් සර් ආයෙම සැරයක්…”
දුෂේන්ගේ ස්වරයෙහි වූයේ මද තැතිගැන්මකි.
“ආයෙ ඔය මඩ වගුරට අඩිය ගහන්නෑ කියලා තමා හිතන් හිටියෙ මමත්. ඒත්… රාද් වෙනුවෙන් මම ඒ දේත් කරන්න දෙපාරක් හිතන්නෑ.”
මනෝරමගේ හඬෙහි වූයේ තරමක බැරෑරුම් බවකි.
“මාව මේ ජරා ගොඩට ඇදලා ගත්තු ඔයාමද මේ දැන් ඔහොම කතා කරන්නෙ තාත්තෙ? දරු සෙනෙහස නම් පෙන්නන්න හදන්න එපා.”
ගෞරාද් අවධාරණයෙන් යුතුව පවසා එතැනින් නික්ම ගියේ කෝපයෙන් යුතුවය.
⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐
පොතේ මිල 1750/=
වට්ටම් සහිත මිල 1400/=
බෙදාහැරීමේ ගාස්තු 350/=