27/12/2023
අභ්‍යවකාශයේදී මැරුණොත් මෘත දේහයට මොකද කරන්නේ?
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මීට දශක කිහිපයකට පෙර පෘථිවිවාසීන් අභ්‍යවකාශ ගමන් ගැන සිහින මවමින් සිටියද අද වන විට ඔවුන්ට ඇති ගැටලු ඊට වඩා හාත්පසින් වෙනස් වේ. අද වන විට මිනිසා චන්ද්‍රයාගෙන් ඉඩම් කට්ටියක් මිලදී ගැනීමේ සිට අඟහරු ජනාවාස ඇති කිරීමේ මෙහෙයුම් දියත් කිරීම දක්වා බොහෝ දුරක් පැමිණ ඇත. මේ වේගවත් ගමන හමුවේ ඔවුන් ඉදිරියේ ඇති අභියෝග රාශියකි. පෘථිවිය තුළදී නම් සිදුවන ඕනෑම මරණයක් එම මියගිය පුද්ගලයාගේ
ආගම හෝ සංස්කෘතිය අනුව එසේත් නැතිනම් එකී පුද්ගලයාගේ අවසන් කැමැත්ත අනුව වැඩකටයුතු සිදු කොට ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම කළ හැකි වේ. නමුත් යම්කිසි තැනැත්තකු අභ්‍යවකාශය තුළ මියගියහොත් එම මෘත ශරීරයට කුමක් සිදුවේද? එය පෘථිවිය වෙත නැවත එවනවාද? එසේ පෘථිවියට එවීමට කාලයක් ගත වන්නේ නම් එම ශරීරය එතෙක් සුරක්ෂිතව තබා ගන්නේ කෙසේද? මේ අභ්‍යවකාශය පිළිබඳව තොරතුරු සෙවීමට උනන්දු වන නමුත් බොහෝ පුද්ගලයන් පිළිතුරු නොදන්නා ගැටලු කිහිපයකි.
මේ ලිපිය පුද්ගලයෙක් අභ්‍යවකාශය තුළ මියගියහොත් කුමක් සිදුවේද යන්න පිළිබඳව කුතුහලයෙන් සිටිනා ඔබ වෙනුවෙන්ම සැකසුණකි.
මිනිසා අභ්‍යවකාශය ජය ගෙන ගෙවුණු දශක හයක කාලයක් තුළ සිදු කළ අභ්‍යවකාශ ගමන් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනකු පමණ මියගොස් තිබේ. ඒ නාසා හි 1986 සහ 2003 අභ්‍යවකාශ ෂටල ඛේදවාචකවලින් 14 දෙනෙක්, 1971 Soyuz 11 මෙහෙයුමේදී ගගනගාමීන් තිදෙනෙක් සහ 1967දී ඇපලෝ 1 දියත් කිරීමේදී ඇතිවූ ගින්නෙන් ගගනගාමීන් තිදෙනෙක් වශයෙනි.
අභ්‍යවකාශයක් තුළදී මරණය ළඟා විය හැකි ක්‍රම
අභ්‍යවකාශය තුළ මියගියහොත් එම මෘත ශරීරයට කුමක් සිදු කරන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට පෙර අභ්‍යවකාශයක් තුළදී පුද්ගලයෙක් මරණයට පත් විය හැකි ආකාරය පිළිබඳව සොයා බැලිය යුතු වේ.
එයින් ප්‍රධානම හේතුව වන්නේ ආරක්ෂක අභ්‍යවකාශ ඇ¾දුමකින් තොරව අභ්‍යවකාශ රික්තකයට නිරාවරණය වීමයි. මෙම තත්ත්වය ඇති වීමට බොහෝ විට බලපාන්නේ අභ්‍යවකාශ ඇ¾දුමට හානි වීම හෝ අභ්‍යවකාශ ගමනකදී අනතුරකට පත්වීමයි.
ඒ පිළිබඳව සඳහන් කරමින් කැනේඩියානු ගගනගාමියකු සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) හිටපු අණදෙන නිලධාරි Chris Hadfield කියා සිටින්නේ යමක් සිදුවිය හැකි නරකම අවස්ථාවකදී අභ්‍යවකාශ ගමන තුළ බලාපොරොත්තු නොවූ ඕනෑම දෙයක් සිදු විය හැකි බවයි. ඇතැම් විට හදිසියේම ක්ෂුද්‍ර උල්කාපාතයකට පවා හසු විය හැකි අතර ඒ සම්බන්ධයෙන් කළ හැකි කිසිවක් නැති බවද ඔහු කියා සිටියි.
යම් හෙයකින් අභ්‍යවකාශ ෂටලයෙන් පිටත සිටින විට එවැනි ක්ෂුද්‍ර උල්කාපාත වර්ෂාවකට හසුවුවහොත් එමඟින් අභ්‍යවකාශ ඇ¾දුමට හානි සිදුවිය හැකිය. ඒ අනුව තත්පර කිහිපයක් ඇතුළත අදාළ ගගනගාමියා අකර්මණ්‍ය තත්ත්වයට පත්වීමේ හැකියාවක් ඇත.
එසේ වන්නේ තත්පර 10ක් පමණ ඇතුළත සමේ සහ රුධිරයේ ජලය වාෂ්ප වී, වාතයෙන් පිරුණු බැලුනයක් මෙන් ශරීරය ප්‍රසාරණය වී පෙණහලු පුපුරායන මට්ටමට ළං වන බැවිනි. කෙසේ වෙතත් තත්පර 30ක පමණ ප්‍රමාණයක් ඇතුළත ඔහුට බාහිරින් ආරක්ෂාවක් හෝ උපකාරයක් නොලැබෙන්නේ නම් ඔහු මියයෑමට හෝ උපකාරයක් ලැබී ජීවිතය බේරා ගැනීමට හැකි වුණද පූර්ණ වශයෙන් අංශභාගයට පත්වීමේ හැකියාවක් පවතී.
කෙසේ වෙතත් බාහිර උපකාරයක් නොලැබී අභ්‍යවකාශ රික්තකය තුළ පෙණහලුවල වාතය ප්‍රසාරණය වී, පෙණහලු පුපුරා ගොස් මියයෑමට සිදු වුවහොත් අභ්‍යවකාශය තුළ එම මෘත ශරීරය අධික සීතලකින් යුක්ත මමියක ආකාරයට පත් වේ. එහිදී එම මෘත ශරීරය බොහෝ විට වසර මිලියන ගණනක් පුරාවට විශ්වය හරහා යාත්‍රා කරනු ඇත. නමුත් ඇතැම් විට එය එක් දිනක් තුළ වුවද වෙනත් ග්‍රහලෝකයක් හෝ තාරකාවක් හේතුවෙන් තාපය හෝ විකිරණ මඟින් විනාශ වීමකට ලක්වීමේ හැකියාවද පවතී.
අභ්‍යවකාශය රික්තකයක් තුළ කිසිදු බාහිර උපකාරයකින් තොරව මියයන ගගනගාමියෙක්ගේ සිරුරට එවැනි ඉරණමක් අත්වුවද, අභ්‍යවකාශ රික්තකයට වැදී අතුරුදන් නොවුණු මෘත ශරීර සඳහා කටයුතු කරන ආකාරය පිළිබඳව වෙනම සොයා බැලිය යුතු වේ.
අභ්‍යවකාශ ගමනක් තුළ මියයන සිරුරුවලට කුමක් සිදු වේද?
ඇපලෝ මෙහෙයුමෙන් පසු පළමු වතාවට මිනිසුන් සහිත අභ්‍යවකාශ පියාසැරි මෙහෙයුම් ගැන බරපතළ කතාබහක් ඇති වන අතර එහිදී යමකු අභ්‍යවකාශයේදී මියගිය විට එම ශරීරයට කුමක් කරන්නේද යන්න පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් විය. දැනට අභ්‍යවකාශගාමියකු අභ්‍යවකාශයේදී අභාවප්‍රාප්ත වුවහොත් ඔහුගේ හෝ ඇයගේ සිරුර ඉතා ඉක්මනින් නැවත පෘථිවියට රැගෙන ඒමේ හැකියාවක් පවතී. ඒ තවමත් අපි පෘථිවියට ඉතාමත් ආසන්නයෙන් පමණක් අභ්‍යවකාශ ගමන්වල නිරත වීම හා පෘථිවියට නැවත පැමිණීමට එතරම් කාලයක් ගත නොවීමයි.
යම් කිසිවකු අභ්‍යවකාශ ගමනක් අතරතුර යානය තුළ මියගියහොත් එම පුද්ගලයාගේ මෘත ශරීරයට කුමක් කරන්නේද යන්න දක්වමින් ISS හි අණදෙන නිලධාරි ගගනගාමි Chris Hadfield කියා සිටින්නේ නාසා ආයතනයට අභ්‍යවකාශ යානයක් තුළ සිදුවන මරණ සම්බන්ධයෙන් ප්‍රෝටකෝලයක් නොමැති බැවින් කිසිවකු මියගියහොත් එම සිරුරට කුමක් සිදු කරන්නේද යන ආකාරය පිළිබඳව අදාළ යානයේ අණදෙන නිලධාරියා විසින් තීරණය කරනු ලබන බවයි.
එහිදී බොහෝ විට අදාළ මළ සිරුර අභ්‍යවකාශ ඇඳුම තුළම තිබෙන්නට හැර නැවත පෘථිවියට පැමිණෙන තුරු ටෝර්පිඩෝ අසල ගබඩා කරන බවයි. මෙම ස්ථානය අධික සීතලකින් යුක්ත වන අතර ගගනගාමීන් ජීවත්වන ප්‍රදේශයෙන් වෙන්ව පවතියි. බොහෝ විට දැනට අභ්‍යවකාශ යානාවල එම ස්ථානය භාවිත කරන්නේ කුණු කසළ ගබඩා කර තැබීම සඳහාය.
නමුත් අඟහරු ග්‍රහලොව තුළ ජනාවාස ඇති කිරීමේ ව්‍යාපෘතියේදී මෙම තත්ත්වය හාත්පසින් වෙනස් වේ. එයට හේතුව වන්නේ චන්ද්‍රයාට සාපේක්ෂව අඟහරු වෙත ඇති දුර ප්‍රමාණය හා එහි යෑමට ගත වන කාලය වැඩි වීමයි. එමෙන්ම යම් හෙයකින් අඟහරු තුළ ජනාවාස ඇති කළහොත් එම ජනාවාස තුළ ජීවත්වන ජනතාව මියයන දිනක ඔවුන්ගේ මළ සිරුරුවලට කුමක් කරන්නේද යන්න පිළිබඳවද ගැටලුවක් පවතී.
මෑතකදී, යාහූ විසින් “අභ්‍යවකාශයේදී ගගනගාමියකු මියගියහොත් නාසා ආයතනය විසින් සිදු කිරීමට සැලසුම් කර ඇති දේ මෙන්න” යන මාතෘකාව යටතේ ලිපියක් ලියමින් සැලසුම් කිහිපයක් ඉදිරිපත් කරන්නට යෙදුණි.
එහිදී සරලම විස¾දුම ලෙස ඔවුන් නම් කර තිබුණේ අදාළ මළ සිරුරු අභ්‍යවකාශයට මුදාහැරීමයි. එය නැවියන් සඳහා සිදු කරන මුහුදු භූමදානයක් වැනි බව සඳහන් කර සිටින නමුත් එය ජාත්‍යන්තර ගිවිසුමෙන් තහනම් බවද ඔවුන් විශේෂයෙන් දක්වා ඇත.
යාහූ හි යෝජනාව එසේ වුවද, මහාචාර්ය ක්‍රිස්ටෝපර් නිව්මන් සහ නෝර්තුම්බි්‍රයා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නික් කැප්ලාන් පවසන පරිදි, අඟහරු ගමන තුළ මියයන ශරීර අභ්‍යවකාශයේ පවතින සීතලෙන් ශීත කළ හැකි අතර එමඟින් අදාළ මෘත ශරීරයේ බර අඩු කර ගත හැකිවේ. පෘථිවියට ආපසු යන ගමනේදී එය ගබඩා කිරීම සඳහා පහසුවක් වනු ඇත.
කෙසේ වෙතත් මේ සඳහා මේ වන විට ඇති වඩාත් උචිතම යෝජනාව වන්නේ අඟහරු වෙත ගමන් කරන අතරතුර ගගනගාමියකු මියගියහොත්, එම සිරුර අභ්‍යවකාශයට නිරාවරණය කළ හැකි විශේෂ බෑගයක බහා තැබීමට කර ඇති යෝජනාවයි. එලෙස බෑගය තුළ බහා තැබීම හේතුවෙන් ශරීරය සංකෝචනය වන බවද නැවත අභ්‍යවකාශ යානය තුළට ගෙන ඒමේදී ඇති වන කම්පනය හේතුවෙන් දේහය සිහින් දූවිලි බවට පත් වන බවද නාසා ආයතනයේ මහාචාර්ය උර්කියෙටා සඳහන් කර සිටියි.
එමෙන්ම මෙලෙස දූවිලි බවට පත්වන මෘත දේහයන් සඳහා කුමක් කළ යුතුද යන්න පිළිබඳව ඇති සාකච්ඡාවේදී නාසා ආයතනයේ තවත් යෝජනාවක් වන්නේ අඟහරු මත ජනාවාස ඇති කරනවා නම් එහි ජනතාව භෝග වගා කරන්නේ නම්, එම භෝග සඳහා පොහොර වශයෙන් අදාළ භස්මාවශේෂ යොදා ගත යුතු බවයි.
නමුත් මෙහිදී එක් ගැටලුවක් පවතී. ඒ පෘථිවි ක්ෂුද්‍ර ජීවීන්ගෙන් අනෙකුත් ග්‍රහලෝක දූෂණය කිරීම වළක්වමින් නාසා ආයතනය දැඩි නීති පනවා තිබීමයි. ඒ පිළිබඳව දක්වමින් නාසාහි ග්‍රහලෝක ආරක්ෂණ කාර්යාලයේ කැතරින් කොන්ලි පවසා සිටින්නේ අඟහරු ගමන තුළ මියයන පුද්ගලයන් බොහෝ දුරට නැවත පෘථිවිය වෙතට ගෙන එන තුරු අභ්‍යවකාශ යානයේ ගබඩා කර තැබීම සිදු වනු ඇති බවය.
කෙසේ වෙතත් කොම්පෝස්ට් ලෙස මෘත ශරීරවල භස්මාවශේෂ භාවිත කිරීමට පෙර නාසා ආයතනයට අඟහරු මත ජනාවාස ඇති කිරීම සම්බන්ධයෙන් වන ව්‍යාපෘතිය ජය ගත යුතු වේ.
අඟහරු මත ඇති ජීවිත තර්ජන මොනවාද?
එසේ නම් අඟහරු හෝ සඳ මත සිදුවන මරණයක් එවැනි ගමනාන්තයකට යන අතරතුර සිදුවන මරණයට වඩා වෙනස් වන්නේ කෙසේද?
අපගේ චන්ද්‍රයාට වායුගෝලයක් නොමැති තරම් වීම හේතුවෙන් හා අඟහරු ග්‍රහයාගේ වායු ගෝලය ඔක්සිජන් නොමැති ඉතා තුනී එකක් වන බැවින් මිනිසා සඳ වේවා අඟහරු වේවා මේ කුමක් ජය ගත්තද ඔවුන්ද ඔක්සිජන් ආවරණ සහිත අභ්‍යවකාශ ඇ¾දුම් ඇඳ සිටීමට හෝ එයට විකල්පයක් සොයා ගැනීමට අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.
එමෙන්ම අඟහරු හෙවත් රතු ග්‍රහයා මත පවතින විකිරණ අවදානම ඉහළ බැවින් තත්ත්වය තවත් දරුණු වේ. අභ්‍යවකාශ විද්‍යාඥයන්ට අනුව අඟහරු ග්‍රහයා තුළ එය පෘථිවියේ අත්විඳින ලද විකිරණ මෙන් 700 ගුණයක් ඇත.
මෙම විකිරණ හෘදවාහිනී පද්ධතිය වෙනස් කිරීමට, හදවතට හානි කිරීමට, ධමනි දැඩි කිරීමට සහ පටු කිරීමට මෙන්ම රුධිර නාලවල ඇතැම් සෛල විනාශ කිරීමට හෝ හෘදවාහිනී රෝග ඇති වීමට හේතුවක් වේ. ඇතැම් විට යම් අයෙක් එම විකිරණවලට සෘජුව නිරාවරණය වුවහොත් එකී පුද්ගලයාට මරණය වුවද ළඟා වනු ඇත.
අනාගතයේදී අඟහරු වෙත ජනාවාස ඇති කිරීමට හෝ අවම වශයෙන් මානව ගගනගාමියෙක් යැවීමට හෝ උත්සාහ කරන්නේ නම් මෙම සියලු සාධක සලකා බැලිය යුතුවේ. කෙසේ වෙතත් දැනට නාසා ආයතනය අවධානය යොමු කර ඇත්තේ 2025 වන විට එහි ආටෙමිස් වැඩසටහනේ කොටසක් ලෙස නැවතත් සඳ මත මිනිස් පා සටහන් තැබීමටයි.
මේ වන විට නාසා අයතනය මඟින් ආනාගතයේ සැලසුම් කිරීමට නියමිත බොහෝ ව්‍යාපෘතීන් පිළිබඳව පුරෝකථනය කොට අනාගතයේ ඇති විය හැකි අවදානම් රාශියක් සඳහා විස¾දුම් යෝජනා කොට ඇත. ඒ අනුව අභ්‍යවකාශය තුළ මියයන පුද්ගලයන් සඳහා කළ යුතු දේ පිළිබඳව මේ ආකාරයේ අදහස් ඉදිරිපත් කර තිබේ.
ඒ පිළිබඳව කතාව එසේ වෙද්දි, නාසා ආයතනය මේ ආකාරයෙන් අනාගතය පුරෝකථනය කර විස¾දුම් ඉදිරිපත් කිරීමට හේතු පාදක වූ මෙතෙක් කාලයක් පුරාවට අභ්‍යවකාශ මෙහෙයුම්වලදී සහ පුහුණුවීම්වලදී තම දිවි පිදූ ජෝර්ජි ඩොබ්රොවොල්ස්කි, වික්ටර් පට්සෙව්, ව්ලැඩිස්ලාව් වොල්කොව්, ව්ලැදිමීර් කොමරොව්, මයිකල් ජේ. ඇඩම්ස්, ග්‍රෙගරි ජාවිස්, රොනල්ඩ් මැක්නෙයාර්, එලිසන් ඔනිසුකා, ජුඩිත් රෙස්නික්, මයිකල් ජේ. ස්මිත්ලඩික් ස්කෝබී, Christa McAuliffe, Rick D Husband, විලියම් සී. මැකූල්, මයිකල් පී. ඇන්ඩර්සන්, ඩේවිඩ් එම්. බ්‍රවුන්, කල්පනා චව්ලා, ලෝරල් ක්ලාක්, ඉලාන් රමොන්, වැලන්ටින් බොන්ඩරෙන්කෝ, තියඩෝර් ෆ්‍රීමන්, එලියට් සී, චාල්ස් බැසෙට්, Virgil “Gus” Grissom, එඩ් වයිට්, රොජර් බී. චැෆි, ක්ලිෆ්ටන් සී. විලියම්ස්, රොබට් හෙන්රි ලෝරන්ස් ජූනියර්, සර්ජි වොසොවිකොව්, මයිකල් ඇල්ස්බරි යන්නවුන් ගෞරවයෙන් සිහිපත් කළ යුතු වේ.
අක්ෂි මාපා වීරසිංහ